හතුරුසිංහ වෙනුවෙන් බදු නොගෙවූ ශ්‍රී ලංකා ක්‍රිකට්

හතුරුසිංහ වෙනුවෙන් බදු නොගෙවූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්

by Staff writer 20-08-2019 | 8:25 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීමේදී පුහුණුකරුගේ අපේක්ෂා ඉක්මවා ප්‍රතිලාභ ලබා දී ඇති බව අනාවරණය වී තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයෙනි. අදාළ විගණනයේදී හෙළිව ඇත්තේ, ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා බඳවා ගැනීමේදී විධායක කමිටුව කිසිදු නිලධාරියෙකුට විධිමත් අනුමැතියක් ලබා දී නොමැති බව ය. එසේම එළැඹ තිබූ ගිවිසුම ආයතනයේ නීති අංශය වෙත හෝ යොමු කර නීත්‍යානුකූලව හා විධිමත් ලෙස පරීක්ෂා කර නොතිබූ බව ද විගණන වාර්තාවේ ඇතුළත් ය. ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රිකට් ආයතනය අතර පවතින ගිවිසුමේ 3 වන ඡේදය අනුව ගුවන් ගමන් වියදම් සඳහා වර්ෂයකට අමෙරිකානු ඩොලර් 20,000ක දීමනාවක් ලබා දී තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ. ඒ අනුව 2018 ජනවාරි මස පළමු වන දා සිට 2019 ජූනි මස 30 දක්වා ක්‍රිකට් ආයතනය ඔහුට ගෙවා ඇති මුදල රුපියල් 4,415,901කි. දේශීය ආදායම් පනතේ උපයන විට බදු ගෙවීමේ ක්‍රමය පරිදි එම අතිරේක ආදායම මත පුහුණුකරුගෙන් රුපියල් 1,059,810ක මුදලක් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැත. ක්‍රිකට් පුහුණුකරු වෙත මාසික බදු කුලී පදනම මත ලබා දී තිබූ වාහනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් 130,000ක මුදලක් ගෙවා තිබේ. ඒ සඳහා ඉන්ධන ගාස්තු ගෙවා ඇත්තේ ද ක්‍රිකට් ආයතනයයි. මේ අනුව බදු ගණනයේදී රුපියල් 630,000ක මූල්‍ය නොවන ප්‍රතිලාභ අය කර ගෙන නොතිබූ අතර ඒ හේතුවෙන් ඒ සඳහා ගෙවිය යුතු රුපියල් 151,200ක මුදල ද දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ගෙවීමට කටයුතු කර නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැරීමට එකඟ වීම මත රුපියල් 5,045,901ක අදායම මත පැනවෙන, උපයන විට ගෙවීම් බදු මුදල රුපියල් 1,211,016කි. එම මුදල මෙන්ම බදු මත ගෙවිය යුතු 35.8%ක් වන රුපියල් 382,439ක මුදල ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා නැති බව විගණනයේදී නිරීක්ෂණය වී තිබේ. ජාතික කණ්ඩායමේ පුහුණුකරු වෙනුවෙන් බදු ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වීම මත රුපියල් 15,537,700 ක අනවශ්‍ය වගකීමකට බැඳී වියදමක් දරා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් වැය කළ හැකි මුදල් එක් සේවකයෙකුගේ බදු මුදල් වෙනුවෙන් වැය වන පරිදි ගිවිසුම් ගත වී ඇති බවත් නිරීක්ෂණය කර ඇතැයි එහි සඳහන් ය. වැටුපට අමතරව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සකස් කරන වාර්තාවක් වෙනුවෙන් මාස 36ක කාල පරිච්ඡේදයකට අමෙරිකානු ඩොලර් 60,000 බැගින් අමෙරිකානු ඩොලර් 360,000ක් ගෙවීමට එකඟ වී තිබේ. මෙම ගෙවීම අර්ධ වාර්ෂිකව, අර්ධ වර්ෂය ආරම්භ වීමට පෙර ගෙවන ලද අතර එසේ ගෙවීමට හේතු විගණනයට අනාවරණය වී නැති බව ද සඳහන් ය. මේ අනුව හතුරුසිංහ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැහැර හැර ඇති බදු මුදල ආසන්න වශයෙන් රුපියල් 2,804,465කි. මෙවැනි වංචාවන් සිදු කළ බලධාරීන් අත්අඩංගුවට ගත යුතු නොවේ ද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමනි, ඔබ මේ පිළිබඳව ක්‍රියාත්මක විය යුතු නොවේ ද?