සතොස හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරීවරයාට සිර දඬුවමක්

සතොස හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරීවරයාට වසරක සිර දඬුවමක්

by Staff writer 20-08-2019 | 3:35 PM
COLOMBO (News 1st) - සතොස හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000ක දඩයක් නියම කළේ ය. ඒ, දූෂණ චෝදනාවන්ට අධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙනි. 2002 වසරේදී සතොසට ආනයනය කරන ලද සහල් අඩු මිලට පෞද්ගලික අංශයට අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 4ක අලාභයක් කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. ඒ අනුව ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතේ 70 වන වගන්තිය අනුව දූෂණය නමැති චෝදනාවට වරදකරු බවට නිගමනය කළ අධිකරණය එම නියෝගය කළේ ය. මේ අතර සිර දඬුවමට එරෙහිව මහාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කරන බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර විමල් පෙරේරා මහතාව රුපියල් ලක්ෂ 03ක බැඳුම්කරයක ඇප මත මුදා හැරීමට නියෝග කළා ය.