විලියම්සන් හා අකිල ගැන ICC යෙන් පරීක්ෂණයක්

විලියම්සන් හා අකිලගේ පන්දු යැවීම ගැන ICC යෙන් පරීක්ෂණයක්

by Staff writer 20-08-2019 | 2:26 PM

News 1st - නවසීලන්ත නායක කේන් විලියම්සන් සහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය දින 14 ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයකට යොමු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ, ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට චෝදනා එල්ලවීම හේතුවෙනි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග තීරකයන් ලෙස කටයුතු කළ විනිසුරුවරුන් මෙලෙස ඔවුන් දෙදෙනාව පරීක්ෂණයකට යොමු කිරීම සඳහා තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් විනිසුරුවන් දෙපිලේම කළමණාකාරීත්වය දැනුවත් කර ඇති බව ද සඳහන් ය. ඒ අනුව පසුගිය 18 වන දා සිට දින 14 ක් ඇතුළත් කේන් විලියම්සන් සහා අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයකට යොමු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. කෙසේ වෙතත් අදාළ පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වන තෙක් අකිලට සහා කේන් විලියම්සන්ට ජාත්‍යන්තර තරග බිමේ පන්දු යැවීමේ බාධාවක් මතුවන්නේ නැත. ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර පසුගිය වසරේ එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ඔහුට මෙම චෝදනාව එල්ල විණි. පසුව ඔහුව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන්හිදී පරීක්ෂණයකට භාජනය කළ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක කරන පරිදි ඔහුගේ පන්දු යෑවීම තහනම් කළ බවයි.