මෝදි සහ ට්‍රම්ප් දුරකතන සංවාදයක...

ජම්මු - කාශ්මීර අර්බුදය ගැන අගමැති මෝදි සහ අමෙරිකානු ජනපති දුරකතන සංවාදයක...

by Staff writer 20-08-2019 | 10:00 AM

News 1st - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුරකතන සංවාදයක නිරතව තිබේ.

ජම්මු කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමට ඉන්දීය රජය ගත් පියවරෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සංවාදයක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි. ජම්මු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් තීරණයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යොමු කරවීමට පකිස්ථානය ප්‍රයත්න දරන පසුබිමකදී මෙම සංවාදය සිදුවීම විශේෂත්වයකි. දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා මෙන්ම කලාපීය තත්ත්වය පිළිබඳව ද අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළ බව සඳහන් වේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කලාපයේ ඇතැම් නායකයන්, ඉන්දීය විරෝධි ප්‍රචණ්ඩත්වයට රැකුල් දීම, කලාපීය සාමයට බලපෑම් එල්ල කර ඇති බවට චෝදනා කර ඇත. ත්‍රස්තවාදයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසරයක් කලාපයේ පවත්වා ගැනීමේ වැදගත්කම ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම විනාඩි 30 ක් පැවති දුරකතන සංවාදයේදී ඉස්මතු කළ බව සඳහන් වේ. ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉන්දු පකිස්ථාන නොසන්සුන්තා දුරලා කලාපීය සාමය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවති සාකච්ජාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව අමතා ඇත. ඊයේ ඉන්දියාවට අපහාස වන පරිදි ට්විටර් පණිවුඩ කිහිපයක්ම නිකුත් කළ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, වර්ගවාදී සහ ෆැසිස්ට්වාදී ඉන්දියාව සතු න්‍යෂ්ටික අවි පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි. ඉන්දියාව, ජම්මු කාශ්මීරය සම්බන්ධයෙන් ගත් පියවර පකිස්ථානය සහ ඉන්දියාවේ ද්වීපාර්ශ්වික කටයුත්තක් බැවින් ඊට මැදිහත් වන්නැයි පකිස්ථානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ ඉල්ලීමට එකඟවිය නොහැකි බව පසුගිය දා එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීම පකිස්ථානයට මෙන්ම චීනයට එල්ල වූ අනපේක්ෂිත පහරක් ලෙස සැලකුණි. මේ අතර කාශ්මීර අර්බුදය විසඳීමට කැමැත්ත පළ කළ ජනපති ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමන්ගෙන් ඊට සහය පැතූ බවට ඉකුත් ජුලි මාසයේදී කළ ප්‍රකාශය ඉන්දීය රජය ප්‍රතික්ෂේප කළේ, සිය අභ්‍යන්තර කටයුතු සඳහා වෙනත් පාර්ශවයක මැදිහත්වීම අනවශ්‍ය බව පවසමිනි.