by Staff writer 20-08-2019 | 4:42 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියේ 9 වන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම අහෝසි කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.ජී. ලියනගේ මහතා අද නියෝග කළේ ය.
ඒ, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ගේ ඉල්ලීම මත ය.
අද එම පෙරට්ටුව පැවැත්වීමට නියමිතව තිබුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් නොකිරීම නිසා හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීම අවලංගු කෙරිණි.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රවි මතුගම මහතා කරුණු දක්වමින් එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන් 8 දෙනා ලෙසම 9 වන සැකකරුටත් ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය සැකකරුට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලමින් කරුණු දැක්වූවා ය.
පසුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරින්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 23 වන දා නිකුත් කරන බව දැනුම් දුන්නේ ය.