ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට තර්ජනයක් ?

ඉන්දීය ක්‍රිකට් පිලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි ද?: පකිස්ථාන ක්‍රිකට් ආයතනයට නිර්නාමික ඊමේල් පණිවුඩයක්

by Staff writer 20-08-2019 | 8:43 AM

News 1st - ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් පකිස්ථාන ක්‍රිකට් ආයතනය වෙත නිර්නාමික ඊමේල් පණිවුඩයක් ලැබි තිබේ.

මේ වන විට ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශයේ රැඳී සිටින අතර ඔවුන් ලබන 22 වන දා කොදෙව්වන් සමග පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ද ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය පැවසූවේ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් පකිස්ථාන ක්‍රිකට් ආයතනය වෙත නිර්නාමික ඊමේල් පණිවුඩයක් ලැබී ඇති බවයි. පකිස්ථාන ක්‍රිකට් ආයතනයට ලද අදාළ ඊමේල් පණිවුඩය පසුව ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය වෙත යොමු කර තිබේ. පැය 24 ක් ගතවීමට පෙර එහි පිටපත් ඊමේල් පණිවුඩයක් පකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත ද ලබාදීමට කටයුතු කර ඇත. මෙම අනතුරු ඇඟවීමත් සමග ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇති බව සඳහන් වේ. පකිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ අදාළ ඊමේල් පණිවුඩය පිළිබඳ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ද දැනුවත් කළ බවයි. ඇන්ටිගුවාහි ඉන්දීය තානාපති කාර්යාලය ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්, ආරක්ෂක අංශ ද මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු එරට මාධ්‍ය වෙත අවධාරණය කර තිබේ. ඉන්දීය ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ඝාතනය කරන බවට වන අනතුරු ඇඟවීමක් අදාළ ඊමේල් පණිවුඩයේ සඳහන්ව තිබූ බවයි.