යාත්‍රාවක තිබූ හෙරොයින් තොගය ගැන පොලිස් විමර්ශන

ධීවර යාත්‍රාවේ තිබී හමුවූ හෙරොයින් තොගය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන..

by Staff writer 19-08-2019 | 1:03 PM
COLOMBO (News 1st) : ගාල්ල ආසන්න මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක තිබී නාවික හමුදා  භාරයට පත්වූ හෙරොයින් තොගය සම්බන්ධයෙන් පොලිස්  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශන ආරම්භ කර ඇත. පොලිසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු  සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් කණ්ඩායමක් ගාල්ල බලා පිටත්ව ගොස් සිටින බවයි. පසුගිය ජුලි මස 11 වන දින ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ දී  සැකපිට නාවික හමුදා බාරයට ගත් ඉරාන ජාතිකයින් 06 දෙනා සහ ඔවුන්ට අයත් විදේශීය ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේදී හෙරොයින්  කිලෝග්‍රෑම් 70කට ආසන්න තොගයක් සොයා ගැනුණා. නාවික හමුදාව පැවසුවේ ඊට සමගාමීව ජූලි මස 10 වන දින ගාල්ල ප්‍රදේශයට නුදුරු මුහුදේදී ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු සහ ඔවුන්ට අයත් දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගත් අතර එහි තිබී හෙරොයින් සහ හෂීස් වලට සමාන මත්ද්‍රව්‍ය සාම්පලයන් සොයා ගත් බවයි. කෙසේ නමුත් අධිකරණ නියෝග මත නාවික හමුදාව භාරයේ තිබූ  අත්අඩංගුවට ගත් දේශීය බහුදින යාත්‍රාව දැඩි ලෙස පරීක්ෂා කිරීමේදී යාත්‍රාවේ විශේෂයෙන් සකසන ලද කොටසක් තුළ ඉතාමත්  සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් බවට සැක කෙරෙන කිලෝග්‍රෑම් 85 කට ආසන්න තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා  ගැනීමට නාවික හමුදාව ඊයේ සමත් වුණා.