ගම්මැද්ද ජනතා සන්නස ගමන් ඇරඹූ වගයි..!

Update : ගම්මැද්ද ජනතා සන්නස ගමන් ඇරඹූ වගයි..!

by Sagarika Chathumali 19-08-2019 | 7:33 AM
COLOMBO (News 1st) : ගම්මැද්ද ජනතා මණ්ඩප ගමින් ගමට වැඩසටහන අද ආරම්භ කෙරිණ. ඒ, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථාන පරිශ්‍රයෙනි. අද පෙරවරුවේ මූලස්ථාන පරිශ්‍රයේදී සර්වාගමික වතාවත් ඉටු කිරීමෙන් පසුව ආගමික නායකයෝ මෙම වැඩසටහනට ආශීර්වාද කළහ. මේ අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ උසස් නිලධාරීන්, නිවුස් ෆස්ට් කාර්ය මණ්ඩාලය සහ ගම්මැද්ද සාමාජිකයෝ ද මේ අවස්ථාවට සහභාගි වූහ. මින් පෙර, ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන යටතේ ශ්‍රී ලංකා සිතියමේ සටහන් වු නම් සහිත ගම්මානවලටත් සිතියමේ නැති ඇතැම් උප ගම්මානවලටත් යාමට අපට අවස්ථාව ලැබිණ. මේ බොහෝ ගම්වල ප්‍රශ්න ගම්වලම වැළලෙයි. බොහෝ මිනිසුන් දුක කියාගන්නට අවස්ථාවක් නැති හෙයින් දුකින්ම ජීවත් වී තම දරු පරපුරට ද දුක දායාද කර දී මිය යති. මෙවන් අත්හැරුණු මිනිසුන්ගේ හඩ රටට කියන පොදු වේදිකාවක් තැනීම පිණිස ජනතා මණ්ඩප ගමින් ගමට අද සිට ක්‍රියාත්මකයි. ගම්මැද්ද ක්‍රියාන්විතය තුළ සිවු වසරක් පුරා සිදුකළ පොදු ජන මෙහෙවර අළලා සකස් කෙරුණු ප්‍රදර්ශනයක්ද ඊට ඇතුළත් ය. ගෙයින් ගෙට වැඩසටහන යටතේ හඳුනාගත් ප්‍රශ්න අටක් වහා ක්‍රියාත්මක කරවීම පිණිස ක්‍රියාකාරි දායකත්වය ලබා දීමට ගම්වැසීන්ට මෙහිදී අවස්ථාව සැලසෙයි. ඒ සඳහා සකස් කර ඇති විශේෂ පත්‍රිකාව පුරවා ගම්මැද්ද කණ්ඩායමට භාර දිය හැකියි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා ගම්මැද්ද කණ්ඩායම විසින් හඳුනාගනු ලැබු ප්‍රධාන ප්‍රශ්න අටකට ඉක්මන් විසඳුම් ඉල්ලන ජන සන්නසට අත්සන් තැබීමටද ගම්වැසියන්ට ඉඩ සලසා තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/624400548050366/
COLOMBO (News 1st) : සිව් වසරක් පුරා ජනතා දුකට සවන් දුන් ගම්මැද්ද ක්‍රියාන්විතයේ නවතම ගම්මැද්ද ජනතා සන්නස අද සිට ගමින් ගමට ගමන් කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. අද උදෑසන එම්.ටී.වී. /එම්.බී.සි. ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව වැඩසටහන ආරම්භ වීමට නියමිත ය. දින 20ක් පුරා ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමට නියමිත ජනතා සන්නසේ අරමුණ වන්නේ, පසුගිය සිව් වස පුරා ගම්මැද්ද විසින් සිදුකරනු ලැබූ ක්‍රියාන්විතය ආවර්ජනය කිරීම මෙන් ජනතාව මුහුණ දී සිටින ගැටලු යළි එකතු කර ගැනීමයි. ඒ අනුව ඔබේ ගමේ ගැටලුව රථ පෙළ  සමග පැමිණෙන ගම්මැද්ද විශේෂ නියෝජිත කණ්ඩායමට භාර දීමේ හැකියාව ද පවතී. තවද සන්නස රැගත් රථ පෙළ ගමන් කරන සෑම ගමකම සෑම දිනකම ජනතා මණ්ඩපයක් පැවැත්වීමට ත් කටයුතු සූදානම් කර තිබේ.