එජාප පාක්ෂිකයින් අනාගත ඉරණම ?

එජාප පාක්ෂිකයින් තවදුරටත් පරාජයේ ඉරණමට මුහුණ දිය යුතු ද?

by Staff writer 19-08-2019 | 7:58 PM

COLOMBO (News 1st) - රනිල් වික්‍රමසිංහ මහතා 1993දී අග්‍රමාත්‍ය ධුරයට පත් වූයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයත් සමගයි.

1994 දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතාගේ හදිසි අභාවයත් සමග ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාවක් තිබුණත් වික්‍රමසිංහ මහතා එය මගහැරියේ ය. එම ජනාධිපතිවරණය ද කෙලවර වූයේ, එක්සත් ජාතික පක්ෂය පරාජයවීමෙනි. පසුව 1999 ජනාධිපතිවරණය ජයගත නොහැකි බව පෙනී පෙනීම තමන්ට තරග කළ හැකි බව පවසා තරග කළ වික්‍රමසිංහ මහතා අවසානයේ පරාජය වූයේ ඡන්ද ලක්ෂ 7 කට වඩා වැඩි ප්‍රමාණයකිනි. 2000 වසරේ පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවුනේ පාර්ලිමේන්තු ආසන 89 ක් පමණි. එය ඊට පෙර පක්ෂයට හිමිව තිබූ ආසන 94 තව ත් පහළට ඇද වැටීමක්. පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ගත් උපක්‍රමික ක්‍රියාමාර්ග නිසා 2001 දෙසැම්බරයේ නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් වෙත රට තල්ලු කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවුනත් එහිදී ද පක්ෂයට හිමිවුයේ ආසන 109 ක් පමණි. ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් හිමිවුනේ නැත. සෙසු පක්ෂවල සහයෙන් රජයක් බිහිකල ද එය වසර දෙකකට සීමා වූ අතර 2004 මහ මැතිවරණයෙන් පක්ෂය නැවතත් පාර්ලිමේන්තු ආසන 82 කට සීමා විය. නමුත් 2005 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් යළි රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්ව යළිත් ලබා ගත්තේ සුපුරුදු පරාජයයි. 2010 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු පවා ඉදිරිපත් කිරීම මගහරිමින් රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයෙකු යැයි පවසමින් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළේ ය. එහිදී ද ඔහුගේ තීරණයට අත්වූයේ පරාජයේ ඉරණමයි. ජනාධිපතිවරණෙයන් පසු එළැඹි 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ආසන 60 ක් පමණක් පක්ෂයට හිමි වූ අතර පසුව මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පක්ෂය ද හැර ගියහ. පරාජයම උරුමයවී සිටි රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ඔහු පිටුපස සැඟවී පැමිණ අගමැති අසුන ලබා ගත්තේ ය. ඒ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන ගණනක් නොමැති පසුබිමකයි. ජනාධිපතිවරණයේදී ගොඩනැගුන ලක්ෂ 62 ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට අසමත් වූ රනිල් වික්‍රමසිංහ මහතා මාස කිහිපකින් එළැඹි මහ මැතිවරණයේදී ද තනි ආණ්ඩු බලයක් ලබා ගැනීමට අසමත් විය. ජනාධිපතිවරයාගේ සහය නොවන්නට 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට උරුම වන්නට ඉඩ තිබුනේ විපක්ෂයයි. පළාත් පාලන මැතිවරණයේදී තව ත් පක්ෂ රැසක් සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වුවත් සිය ඡන්ද පදනම 32.61% දක්වා පහත දමා ගන්නට සිදු විය. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයට නායකත්වය ලබා දුන් ගෙවුණු වසර 25 ක කාලය තුළ ජනාධිපතිවරණ තුනක් ඇතුළු මැතිවරණ 29 කදී පක්ෂයටත් පාක්ෂිකයාටත් ඔහු අත්කර දී ඇත්තේ මේ ඉරණමයි. පක්ෂයත්, පාක්ෂිකයාත් තවදුරටත් මේ ඛේදවාචකයට මුහුණදිය යුතු ද?