වෝහාරික විගණනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වංචා ගැන සුවිශේෂි හෙළිදරව්වක්

වෝහාරික විගණනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වංචා ගැන සුවිශේෂි හෙළිදරව්වක්

වෝහාරික විගණනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වංචා ගැන සුවිශේෂි හෙළිදරව්වක්

කර්තෘ Staff writer

19 Aug, 2019 | 7:40 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයෙන් එම ආයතනය තුළ සිදු වූ අවිධිමත් මූල්‍ය ගනුදෙනු රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයෙන් හෙළිව ඇත්තේ එම ආයතනය සතුව බැංකු ගිණුම් 15 ක් ඇති බවය.

ඉන් පෞද්ගලික බැංකු දෙකක පවතින ගිණුම් 4 ක් කවර අරමුණක් සඳහා කෙදිනක ආරම්භ කරන ලද්දේ ද යන්න තහවුරු කිරීමට බලධාරීන්ට හැකි වී නැත.

අදාළ බැංකු ගිණුම් 15 අතුරින් පෞද්ගලික බැංකු 3 කට අයත් ඉතුරුම් ගිණුම් 3 ක් සහ ජංගම ගිණුම් 2 ක් වශයෙන් බැංකු ගිණුම් 5 ක්ම පවතින්නේ අක්‍රිය තත්ත්වයේ බව ද හෙළිව තිබේ.

ගණකාධිකාරීවරයා විසින් දක්වා තිබූ සේජ් (SAGE) ගිණුම්කරණ පැකේජය පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ එම ගිණුම් අවුරුදු 2 සිට අවුරුදු 7 යි මාස 6 දක්වා කාලයක් අක්‍රියව පවතින බවයි.

අදාළ බැංකු ගිණුම්වලට අදාළව ඝෘජුව සිදු කරන ලද ගනුදෙනු විගණනයට ලබාදෙන ලෙස 2019 මාර්තු මස 12 වන දා ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගෙන් ඉල්ලීම් කර තිබුන ද විගණනය සිදු කළ දිනය වන විටත් පෞද්ගලික බැංකු ගිණුම් 4 කින් අදාළ බැංකු තහවුරු කිරීම විගණනය වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැත.

එසේම දේශිය බැංකු පද්ධතියෙන් පරිබාහිරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදේශීය බැංකුවල ගිණුම් පවතින බව ද ඊමේල් පරීක්ෂා කරන විගණන නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.

වෝහාරික විගණනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ වගකීම් විරහිත සිදුවීම් රැසක් නිරීක්ෂණය කර ඇති අතර දකුණු අප්‍රිකානු සංචාරයට අදාළව මෙරටට ලැබීමට නියමිතව තිබූ දෙවැනි වාරිකය වන අමෙරිකානු ඩොලර් හාරලක්ෂ තිස්හයදහස් පන්සිය හතලිස් එකක මුදල වෙනත් ගිණුමකට යැවීමට උත්සහ දරා ඇති බවට තොරතුරු වාර්තා වේ.

මූල්‍ය අංශ ප්‍රධානියා 2018 ජූලි 4 වැනි දා උදෑසන 9.42 ට ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා හට පිටපත් සහිතව සෝනි සමාගමේ සන්දීප් පටෙල්ට යවන ලද ඊමේල් පණිවුඩයෙන් දක්වා ඇත්තේ එම මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලගිණුම වෙත යොමු කරන ලෙසයි.

නමුත් ඊට දින 8 කට පසු එනම් ජූලි මස 12 වන දා උදෑසන 9.16 ට ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතාට පිටපත් සහිතව සෝනි සමාගමේ සන්දීප් පටෙල්ට යවන ලද ඊමේල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇත්තේ, එය වේල්ස් ෆාගෝ නම් බැංකු ගිණුමක් වෙත යවන ලෙසයි.

අදාළ බැංකුවේ ගිණුම් අංක ලබාදීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අසමත් වූ බව විගණන වාර්තාවේ සඳහන් විය.

විගණන නිලධාරීන්ගේ නිරීක්ෂනවල දැක්වෙන්නේ 2019 ජූනි මස 7 වන දා මූල්‍ය අංශ ප්‍රධානි පියල් නන්දන දිසානායක සහා 2018 මැයි මස 8 වන දා ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා ලිඛිත ප්‍රකාශ මගින් මෙලෙස මුදල් යැවීමට උත්සහ නොකළ බව සඳහන් කළ ද එවැනි උත්සහයක් ගත් බවට නිරීක්ෂණය වන බවයි.

අදාළ ඊමේල් ගනුදෙනු සිදුවී ඇත්තේ, මූල්‍ය අංශ ප්‍රධානියාගේ [email protected] නිල ඊමේල් ගිණුමෙන් සහ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වාගේ [email protected] නිල ඊමේල් ලිපිනවලින් බව ද නිරීක්ෂණය කර තිබේ.

එම ඊමේල් පණිවුඩ පිළිබඳ විගණනයට අදාළව සර්ට් ආයතනය ඉදිරිපත් කළ වාර්තාවෙන් තහවුරු කර ඇත.

තවදුරටත් එම වාර්තාවෙන් තහවුරු කර තිබෙන්නේ, මූල්‍ය අංශ ප්‍රධානි පියල් නන්දන දිසානායක සහා ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මයි මේල් නැමැති ඇප්ලිකේෂන් එකක් භාවිත කර ඇති බවයි.

එය යොදා ගැනීමෙන්, ඊමේල් මෙහෙයුම් පද්ධතියට පිටපත් නොවන ලෙස සකස් කළ හැකි බව ද සර්ට් වාර්තාව තහවුරු කර ඇත.

එමෙන්ම, මුර පදයක් භාවිත නොකර සහ අනන්‍යතාව තහවුරු නොකර අදාළ යෙදුමට ප්‍රවිශ්ට විය නොහැකි බව ද සර්ට් වාර්තාවේ සඳහන් වේ.

වෙනත් ගිණුමකට යොමු කිරීම පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා සහා මුල්‍ය අංශ ප්‍රධානි පියල් නන්දන දිසානායක නොදැන සිටි බවට තහවුරු කිරීමට විගණන නිලධාරීන්ට සාක්ෂි නොමැති බව ද එම නිරීක්ෂණවල ඇතුළත් ය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය නිවැරදිව සිදු කරනු ලබන බලධාරීන් දැන් සිදු කළ යුත්තේ මේ හා සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාක්මක කිරීම නොවේ ද?

වෝහාරික විගණනයෙන් මෙතරම් විශාල මූල්‍ය වංචා හෙළිවෙමින් පවතිද්දී බලධාරීන්ට තව කොතෙක් කලක් නිහඬව සිටිය හැකි ද?

චෝදනාවට ලක්වූවන් අත්අඩංගුවට නොගෙන වාර්තා සකස් කිරීමෙන් පමණක් ඇති ප්‍රයෝජනය කුමක් ද?

තව ත් තොරතුරු රැසක් අප සතු වන අතර වරදකරුවන් නීතිය හමුවට පමුණුවන තෙක් ඒවා අනාවරණය කිරීමට අප සූදානම්…

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]