ලසන්ත ඝාතනය ඇතුළු සිද්ධි 6කට අදාළව වාර්තාවක්කැඳවයි

ලසන්ත ඝාතනය ඇතුළු සිද්ධි 6ක් සම්බන්ධයෙන් CIDයෙන් වාර්තාවක් කැඳවයි

by Staff writer 18-08-2019 | 3:41 PM
COLOMBO (News 1st) : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 6ක් සම්බන්ධයෙන්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබේ. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ප්‍රධාන විමර්ශන 5 ක් පිළිබඳ නීතිපතිවරයා විසින් ඉකුත් 15 වනදා පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියට ප්‍රතිචාර ලෙසයි. නීතිපතිවරයා විසින් විමසා ඇති අදාළ සිද්ධී වන්නේ, 01. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, 02. වසීම් තාජුඩීන් ඝාතනය, 03. කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය, 04. මුතූර් හිදී සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය 05. තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියයි. එම සිද්ධි පහට අදාළ විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කර, විමර්ශන උධෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස නීතිපතිවරයා අදාළ ලිපියෙන් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණ. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම සිද්ධි 5ට අදාළ ව මෙන්ම ඊට අමතර වශයෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ විමර්ශන ද ඇතුළුව එම සිද්ධීන් 6 හිම විමර්ශන සම්බන්ධයෙන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජෙෂ්‍යඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමක් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම විමර්ශන 6ට අදාළව කරුණු 11 ක් සම්බන්ධයෙන්, එක් එක් සිද්ධියට අදාළව වෙන වෙනම ලිපි ගොනු සකස් කර ලබන 23 වනදා හෝ ඊට පෙර ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරායා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවයි. වැඩබලන පොලිස්පතිවරයා විසින් දක්වා ඇති කරුණු 11 අනුව, අදාළ සිද්ධී සම්බන්ධයෙන්, විමර්ශන ආරම්භ කිරිම සඳහා උපදෙස් ලැබුණු දිනය, විමර්ශන ආරම්භ කළ දිනය, විමර්ශනයේ වර්තමාන තත්ත්වය, විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු, සැකකරුවන්, අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා දේපළ පිළිබඳ විස්තරයක් දැක්විය යුතු වේ. එමෙන්ම අදාළ සිද්ධි පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළ දිනය, අධිකරණය හා නඩු අංකය, ඒ සම්බන්ධයෙන් අධීකරණය ලබා දී ඇති නියෝගය හා ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල වර්තමාන තත්ත්වය දැක්විය යුතුයි. එමෙන්ම විමර්ශන මේ දක්වා අවසන් කිරීමට නොහැකි වී ඇත්නම් ඊට හේතු සහ විමර්ශන අවසන් කිරිමට බලාපොරොත්තු වන සාධාරණ කාලය ද, දක්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.