ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර

BREAKING : ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක

by Staff writer 18-08-2019 | 6:10 PM
COLOMBO (News 1st) : ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කෙරිණ. ඒ, ගාලුමුවදොර පිටියේදී පැවති විශේෂ රැළියේදීයි. නැගිටිමු අපි එක්වෙමු යන්න තේමා කරගත් මෙම රැළිය හදුන්වා ඇත්තේ, පෙරළියේ මහ රැලිය නමිනි. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් සංවිධාන 30කට ආසන්න ප්‍රමාණයක් එක්ව ගොඩ නගාගෙන ඇති ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෙහිදි අනුර කුමාර දිසානායක නම් කෙරිණ. ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකයෙකු මෙලෙස ඉදිරිපත් කරන්නේ වසර 20කට පසුවයි. 1999 වසරේදී නන්දන ගුණතිලක මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් තුන්වන ස්ථානය දිනා ගත්තේ ය. 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාටත්, 2010 වසරේදී සරත් ෆොන්සේකා මහතාටත් සහය පළ කල ජනතා විමුක්ති පෙරමුණ 2015 වසරේදී අපේකෂකයෙකු ඉදිරිපත් නොකළ අතර දූෂණයට එරෙහි මතවාදයක් සමාජගත කිරීමට පෙරමුණ ගත්තේ ය. ඒ අනුව 20 වසරකට පසු, යළිත් ජනතා විමුක්ති පෙරමුණ සෘජුව ජනාධිපතිවරණය සටනට අද සිට අවතීර්ණ වන්නේ අනුර කුමාර දිසානායක මහතායි. රැළිය අමතමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, තමා කෙරෙහි විශ්වාසය තැබූ ජන බලවේගයේ සහ පොදු මහජනතාවගේ විශ්වාසය අබමල් රේණුවකින් හෝ හානි නොකරන බවයි. තව ද මෙම සටන ජයග්‍රහණයකින් කෙළවර වනු ඇති බව ද ජනාධිපති අපේක්ෂකයා අවධාරණය කළේ ය. ජාතික නිෂ්පාදනයට පණ දෙන ආර්ථිකයක් ගොඩනගමින් 71 වසරක් තිස්සේ විනාශ වූ ආර්ථික ගමන් මගින් වෙනස් කරන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේ ය. තව ද මහජනයාගේ ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ජාතික සමගිය නිර්මාණය කිරීමෙන් පමණක් බව ත් ඒ සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවටත් අනුර කුමාර දිසානායක මහතා එහිදී සපත විය. සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරන පොදු ජනතාවට සමාජ ප්‍රගමනය වෙනුවෙන් පෙනී සිටින ලෙස ද ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා එහිදි ආරාධානා කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/346285976277858/