තරුණ ගැටලු විසඳන්න අගමැති දැමූ ක්ෂණික කමිටුව

තරුණ ගැටලු විසඳන්න අගමැති දැමූ ක්ෂණික කමිටුව

by Staff writer 17-08-2019 | 9:57 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය එළිදැක්වීම අද අරලියගහ මන්දිරයේදී සිදු විය. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. යුතුකම යන්න තේමා කර ගනිමින්, මෙම උත්සවය පැවැත්වුණේ අදට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව ය. මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය නිල වශයෙන් එළිදැක්විය.
නීතිඥ එරන්ද වැලිඅංගේ - සභාපති ජාතික තරුණ සේවා සභාව "ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා වශයෙන් ඔබව අමතන අන්තිම දවස තමයි අද. මම සමුගනිද්දී මගේ ඇස්වල කඳුළු නෑ. මට තියෙන්නෙ ලොකු ආඩම්භරයක්. ඔබට මතක ඇති පසුගිය වසර හතරක, හතරාමාරක කාලයක පුරාවට අපි දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කරා." රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය "ඇයි අපිට දියුණු වෙන්න බැරි වුණේ? අපේ දේශපාලනය නිසා ද? ඕව්. ඒක අපි පිළිගන්න ඕන. අපි කොහොමද වෙනස ඇති කරන්නෙ? මමත් ඉන්නේ වෙනස ඇති කරන්න ඕන කියලා. මොකක්ද කරන්න ඕන වෙනස්කම් ටික? මට කියන්න. වතුර විදුරුවක් බොනකම් හිතලා කියන්න. මම ෂෙහාන්ගෙ ප්‍රධානත්වයෙන් කිහිප දෙනෙක් කොමිටියක් පත් කරනවා. ෂෙහාන් නැගිටින්න. ඔයාට රැකියාවක් නෑනේ? නෑ. එකයි මං තේරුවේ කොමිටිය දාන්න. සුමාන දෙකෙන් වාර්තාව දෙන්න පුළුවන් ද? බැරි ද? හා එහෙනම් ඒ සුමාන දෙකේ ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් එක එවන්න ෂෙහාන්ට. ෂෙහාන් මෙතන්ට ඇවිල්ලා ඔයාගේ ඊමේල් එක මොකක්ද කියලා කියන්න. ඔය කරන ගමන් ෂෙහාන් බඳින්නත් පුළුවන්." ෂෙහාන් - "කේ අකුරයි ෂෙහාන් කෝෂිල ඇට් ජීමේල් ඩෝට් කොම්." රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය "එහෙනම් ඊමේල් ඇඩ්‍රස් එක දන්නවා නේද?එවන යෝජනායි පුද්ගලික ලිපි මිශ්‍ර කරන්න එපා."
අග්‍රාමාත්‍යවරයා මෙලෙස අරලියගහ මන්දිරයට තරුණයින් පිරිසක් ගෙන්වා උසුළු විසුළු කරන මොහොත වන විටත් මෙරට තාරුණ්‍ය සිටින්නේ ඉච්ඡා භංගත්වයෙනි. විරැකියාව, තරුණ අසහනය, විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටලු ආදී දහසකුත් තරුණ ප්‍රශ්නවලට ස්ථිර විසඳුම් ලබා දීමට අවංකව කටයුතු කළ බවත් පෙනෙන්නට නොමැත. ඇතැම් ගැටලුවලට විසඳුම් නැති තැන වීදි සටන් ඇරඹි සිසුන්ට හිමි වූයේ විසඳුම් වෙනුවට කඳුළු ගෑස් ආදියයි. අදටත් තරුණ තරුණියන් ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් විදෙස් රටවල්වල වහල් සේවයට යාමට උත්සහ කරන්නේ ඒ නිසා ය.