එ.ජා.ප. සන්ධානය පිළිබඳ සාකච්ඡාව

එ.ජා.ප. සන්ධානය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වෙයි

by Staff writer 17-08-2019 | 5:50 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය මූලිකව ගොඩනැගෙන නව සන්ධානය පිළිබඳව තීරණාත්මක සාකච්ඡා කිහිපයක් අද ස්ථාන කිහිපයකදී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා පසුගියදා ප්‍රකාශ කළේ, යෝජිත සන්ධානය හා අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා සන්ධානයේ පක්ෂ නායකයින් අද හමුවන බව ය. ඒ අනුව අද උදෑසන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසේදී එක්සත් ජාතික පෙරමුණට සහය පළ කරන පක්ෂ නායකයෝ රැස්වූහ. ඊට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මංගල සමරවීර, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම් හා කබීර් හෂීම් යන මහත්වරුන් එක්වූ බව වාර්තා වේ. ඊට අමතරව මනෝ ගනේෂන්, රවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු සන්ධාන ගත වීමට නියමිත පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ද එක්ව තිබේ. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති අතර, සාකච්ඡාවට සහභාගී වූ බහුතරයකගේ මතය වී ඇත්තේ, ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය විසින් තීරණයකට එළැඹිය යුතු බව ය. කෙසේ වෙතත් පැය 3කට අධික කාලයක් පැවති අදාළ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ අතර, සහභාගී වූ මැති ඇමතිවරු කිසිවෙකුත් මාධ්‍යයට අදහස් පළ නොකිරීමට ප්‍රවේසම් වූහ.