එ.ජා.ප. නායකත්වයේ කෙරුවාව

එ.ජා.ප. නායකත්වයේ කෙරුවාව

by Staff writer 17-08-2019 | 9:29 PM
COLOMBO (News 1st) - රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට පෞද්ගලික ගැටලුවක් නොමැත. අපට ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබඳ ගැටලුවකි. ඔක්තෝබර් 26 සිදු වූ ආණ්ඩු පෙරළිය මොහොතේදී අප ඔවුන්ගේ අදහස්වලට විකාශන අවකාශය ලබා දුන්නේ ද රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. අප මේ මොහොතේ ද පෙනී සිටින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදි නැවතත් සිය සට කපට දේශපාලන චර්යාවන් රඟ දැක්වීම ආරම්භ කර තිබේ. රටේත්, සිය පාක්ෂිකයින්ගේත් සැබෑ අවශ්‍යතාවයන්ට පයින් ගසා තමන්ගේත් තම ගජ මිතුරු කල්ලියේත් අවශ්‍යතාවය මතම පමණක් තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාට ඇත්තේ හසල අත්දැකීමක් හා දීර්ඝ ඉතිහාසයකි. ඊට වික්‍රමසිංහ මහතා යොදා ගන්නා ප්‍රමුඛ උපක්‍රමය වන්නේ කල් මැරීමේ ප්‍රතිපත්තියයි. ඊට ඔහු පිටිපන කමිටුව, මනෝ - මලික් කමිටුව, රුවන් විජේවර්ධන කමිටුව ඇතුළු කමිටු රාශියක් පත් කර ගත් අතර, ඒවායේ අන්තර්ගතය අදටත් රහසක් මෙන්ම ඇතැම් ඒවා ක්‍රියාත්මක නොවීය. බහුතර එක්සත් ජාතික පාක්ෂිකයින් විසින් ඉල්ලා සිටින වෙනස තම ඒකාධිපති කල් මැරීමේ ප්‍රතිපත්තියෙන් මර්දනය කරන්නට මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකු යැයි කියා ගන්නා රනිල් වික්‍රමසිංහ නැවතත් සැලසුම් ක්‍රියාත්මක කර තිබේ. තම පෞද්ගලික අරමුණු මුදුන් පත් කර ගැනීමට නායකත්ව මණ්ඩල සහ සන්ධාන බිහි කර ගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ තරම් සූරයෙකු මේ රටේ නැති තරම් ය. කිසිදු බලයක් හෝ වගකීමක් නොමැති නායකත්ව මණ්ඩල නිර්මාණය කරමින් ඊට මුවා වී තම නායකත්වය රැක ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළ ආකාරය ගැන එ.ජා.ප. පාක්ෂිකයින්ට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. නායකත්වය අභියෝගයට ලක්වූ අවස්ථාවක කරු ජයසූරිය ප්‍රමුඛ නායකත්ව මණ්ඩලයක් පත් කර සිය නායකත්වය රැක ගැනීම ඉන් එක් උදාහරණයක් පමණි. ඒ සැම අවස්ථාවකදීම අවසානයේ රනිල් වික්‍රමසිංහ ආරක්ෂා වූ නමුත් එක්සත් ජාතික පාක්ෂිකයාට නම් හිමි වූයේ දැවැන්ත පරාජයකි. දැන් නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු සන්ධාන හා නායකත්ව මණ්ඩල පළිහකට මුවා වීමට සූදානම් වෙමින් සිටියි. සිය තනි අභිමතයට පසුගියදා ලහි ලහියේම එම නව සන්ධානය පිහිටු වීමට රනිල් වික්‍රමසිංහ උත්සහ දැරූ නමුත් පක්ෂයට හිතැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ දැඩි විරෝධය හා පිළිකුල මධ්‍යයේ එය හකුලා ගැනීමට වික්‍රමසිංහ මහතාට සිදු විය. එසේ වූයේ වික්‍රමසිංහ මහතාගේ කූට උපායන් මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයින් හොඳ හැටි අවබෝධ කර ගෙන තිබෙන නිසාවෙනි. පක්ෂයේත්, පාක්ෂිකයාගේත් ජයග්‍රහණය හා රටේ අභිවෘද්ධිය උදෙසා සන්ධාන බිහි වීමේ ගැටලුවක් නොමැත. ගැටලුව ඇත්තේ පක්ෂයේත්, පාක්ෂිකයාගේත් ජයග්‍රහණය වළක්වා තමන් ආරක්ෂා වීමට පමණක් සන්ධාන හා නායකත්ව මණ්ඩල පිහිටුවීම ය. කේසේ වුවත් වික්‍රමසිංහ මහතාට මෙවර නම් කූට රංගනවලින් නායකත්වය රැක ගැනීමට නොහැකි වනු ඇති බව මන්ත්‍රීවරුන්ගෙත්, පාක්ෂිකයින්ගේත් අදහසයි.