ගෝඨාභයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

ගෝඨාභයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

by Staff writer 16-08-2019 | 5:40 PM
COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කරන බවට ලද පැමිණිල්ලක් විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර තිබේ. ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් යළිත් විවාදාත්මක තත්ත්වයක් ඇති පසුබිමක ය. මේ වසරේ ජුනි මස 30 වන දායින් අවසන් වන කාර්තුව දක්වා අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරන ලද පුද්ගලයින්ගේ නාම ලේඛනය ඊයේ අමෙරිකාව ප්‍රසිද්ධියට පත් කළේ ය. නමුත් පසුගිය අප්‍රේල් මාසයේදී පුරවැසිභාවය ඉවත් කර ගත් බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එහි ඇතුළත් නොවීමත් සමග මේ වන විට රට තුළ විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳව ඊයේ මාධ්‍යවේදීන් විමසූ විට බන්දුල ගුණවර්ධන මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.
"අලුත් පාස් පෝට් එක හදලා විදේශගත වෙලත් ආවා ගෝඨාභය මහත්මයා. එහෙම වෙන්න බැහැනේ. එහෙමනම් ආගමන විගමන අයටත් උසාවි යන්න වෙනවා."
ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියෙකු ලෙස සිටිමින් නව ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන එමගින් අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් විමර්ශනය කරන ලෙස ඉල්ලා පුරවැසි බලය සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පැමිණිල්ල විමර්ශනයට අදාළ මූලික කරුණු තිබේ දැයි සොයා බැලීම සඳහා එය කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇති බව ය.