කාශ්මීර ගැටලුවට විසඳුම් සොයන රහස් සාකච්ඡාවක්

කාශ්මීර ගැටලුවට විසඳුම් සොයන රහස් සාකච්ඡාවක්

by Staff writer 16-08-2019 | 9:07 AM
COLOMBO (News 1st) : චීනයේ ලිඛිත ඉල්ලීමකට අනූව ජම්මු - කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වීමට නියමිතයි. නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල මූලස්ථානයේදී එරට වේලාවෙන් පෙරවරු 10 ට සාකච්ඡාව ආරම්භ වනු ඇති. කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් කැඳවන්නැයි පසුගිය 13 වනදා පකිස්ථානය ද, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේ ය. එම ඉල්ලීම්වලට අනුව රහසිගතව පැවැත්වෙන සාකච්ඡාව, මාධ්‍යයට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට විවෘත නොවනු ඇති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස්දෙනා ඇතුළු සියලු සාමාජිකයින් 15 දෙනා පමණක් ඊට සහභාගී වීමට නියමිතයි. මෙම ගැටලුවේදී චීනය, පකිස්තාන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද, සෙසු ආසියානු රටවල සහාය ඉන්දියාවට හිමිව තිබේ. ජම්මු කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කර, එහි පාලනය මධ්‍යම රජය යටතට පැවරීමත් සමග ඉන්දු - පකිස්තාන විරසකය තීව්‍ර විය. කාශ්මීර ගැටලුවේ තානාපතිවරයා වෙමින් එය ජාත්‍යන්තරයට ගෙන යාමට තමා සූදානම් බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගියදා ප්‍රකාශ කළේ ය. එහෙත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, අභ්‍යන්තර ගැටලු විසඳීමට ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය නොවන බවයි.