by Staff writer 16-08-2019 | 6:49 PM
COLOMBO (News 1st) - ලාංකේය භික්ෂූ ශාසනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය අද ඒකාබද්ධ විය.
මෙරට ශාසනය තුළ සියම්, අමරපුර හා රාමඤ්ඤ ලෙස ප්‍රධාන භික්ෂු නිකායන් 03ක් පැවතිණි.
ඉන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය හා රාමඤ්ඤ මහා නිකාය අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙලෙස සම්මුතියකට එළැඹිණි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියෝ ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියෝ ද මීට අදාළ ව්‍යවස්ථාවට අත්සන් තැබුහ.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය 1802 වසරේ ආරම්භ කෙරෙන අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය බිහි වීමට පදනම සැපයෙන්නේ 1863දී ය.
බුරුම දේශයෙන් උපසම්පදාව රැගෙනවිත් මෙම නිකායන් බිහි කිරීම ද විශේෂත්වයකි.
වසර කිහිපයක් පුරා සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවය අතර මෙම සමගි සම්මුතියට එළැඹීම සිදු විය.
මෙම සම්මුතියට අත්සන් තැබීමත් සමග නිකායන් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව ලෙස හඳුන්වන අතර මහ නාහිමිවරුන් දෙනම සභාපති හිමිවරුන් ලෙස හැඳින්වේ.