අමතක ද?

අමතක ද?

by Staff writer 16-08-2019 | 9:46 PM
COLOMBO (News 1st) - 29 වතාවක් පාක්ෂික බලාපොරාත්තු සුන් කරමින් මැතිවරණ පරාජයන්ට මුහුණ දුන්නත් සිය නායකත්ව පුටුව රැක ගැනීමට සමත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 2015 වසරේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කරපිටිනි. එලෙස බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වී මාස තුනක් ගත වීමටත් පෙර තම ගජ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් නම් සිංගප්පූරු ජාතිකයා මහ බැංකු අධිපති ධූරයට පත් කරමින් මෙරට ඉතිහාසයේ සිදු වූ දැවැන්තම මූල්‍ය චංචාව සිදු කිරීමට මූලිකත්වය ගත්තේ ය. වැඩ කරන ජනතාව දහඩිය මහන්සියෙන් උපයා ගන්නා සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් මහ බැංකු බැඳුම්කර වංචාව මගින් ‍වංචා කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරන්නේ අන් කවරෙක්වත් නොව රටේ අග්‍රාමාත්‍යවරයා ය. මේ පිළිබඳව රටේ ජනතාව යළිත් අවදියෙන් සිටිය යුතු කාලයක් නැවතත් එළැඹෙමින් පවතී. 2015 පෙබරවාරි 27 වන දා බැඳුම්කර වංචාව සිදු වූ මොහොතේ පමණක් රජයට සිදු වූ අලාභය රුපියල් මිලියන 688කි. දිගු කාලීනව එමගින් සිදු වූ පාඩුව බිලියන ගණනක් වන අතර එය මෙතෙක් තක්සේරු කර නැත්තේ සිදු කරන බව සඳහන් කළ වෝහාරික විගණනය මෙතෙක් සිදු නොවූ බැවිනි. 2016 වසරේ සිදු වූ දෙවන බැඳුම්කර වංචාවෙන් රජයට සිදු වූ අලාභය ද ‍තවමත් ගණනය කර නැතත් සේවක අර්ථ සාධක අරමුදලට සිදු වූ පාඩුව රුපියල් මිලියන 8500කටත් අධික ය. මේ සියල්ල රටේ මහජනතාව දහඩිය මහන්සියෙන් උපයන ලද මුදල් ය. දේශපාලනඥයින්ට මේවා අමතක වී තිබේ. ඇතැම් විදේශ තානාපති කාර්යාලවලට මේවා අමතක වී අවසන් ය. නමුත් රටේ ජනතාවට එරෙහිව සිදු කරන ලද මෙම අපරාධය පිළිබඳ මතකය තවමත් ජන හදවත් තුළින් මැකී ගොස් නොමැත.