නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 22ක් පිටුපසින්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 22ක් පිටුපසින්

by Staff writer 15-08-2019 | 8:19 PM
COLOMBO (News 1st) - තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද දෙවන දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අද දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 80ක් අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 227කි. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස් කර ගෙන සිටියේ ය. කෙසේ වෙතත් නවසීලන්ත ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 46ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයකි. සිය ටෙස්ට් දිවියේ 31 වන අර්ධ ශතකය වාර්තා කළ රෝස් ටේලර් ලකුණු 86ක් රැස් කළ අතර ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 83යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 249ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 80ට කඩුලු 5ක් දවා ගත් අතර සුරංග ලක්මාල් ලකුණු 29ට කඩුලු 4ක් දවා ගත්තේ ය. අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම අරඹමින් නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සඳහා ගොඩනැගීමට හැකි වූයේ ලකුණු 27ක් පමණි. ළහිරු තිරිමාන්න ලකුණු 10කට දැවී ගිය අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 39ක් රැස් කළහ. අනතුරුව පිටිසේ ස්ථාවර වූ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ 3 වන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 77කි. කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 10 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 53ක් රැස් කළේ ය. කුසල් ජනිත් පෙරේරා එක් ලකුණකට දැවී ගිය අතර ධනංජය ද සිල්වාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 5ක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 34 වන අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 50කි. අකිල ධනංජය ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියේ ය. අද දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් සහ සුරංග ලක්මාල් නොදැවී ලකුණු 28ක් රැස් කර ගෙන සිටියහ. අද දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව නවසීලන්ත පළමු ඉනිමට වඩා කඩුලු 3ක් අතැතිව පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 22කි.