"ජනාධිපතිවරණයට මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා"

එළැඹෙන ජනාධිපතිවරණයට මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා - සජිත් ප්‍රේමදාස

by Staff writer 15-08-2019 | 9:40 PM
COLOMBO (News 1st) - ලුණුගම්වෙහෙර පොදු බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීම අද පෙරවරුවේ සිදු කෙරිණි. ඒ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ජනතාවට මෙතෙක් අඩුවක්ව පැවති පොදු බස් නැවතුම්පොළ මෙලෙස ජනතා අයිතියට පත් කෙරුණු අතර, ඊට වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 372කි. විවෘත කිරීමේ අවස්ථාවෙන් පසු අමාත්‍යවරයා බස් නැවතුම්පොළ නිරීක්ෂණය කළේ ය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස - නියෝජ්‍ය නායක එක්සත් ජාතික පක්ෂය "මම මේ කියන්න යන කාරණාව මෙතෙක් කල් කියලා නැහැ. නමුත් මම හිතනවා කාලය ඇවිල්ලා තියෙන්නේ තමුන්නාන්සේලාට එළිපිටම පිරිසිදුවම මේ කතාව කියන්න. එළැඹෙන ජනාධිපතිවරණයට මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා කියලා මම මේ අවස්ථාවේදී තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා. දැන් මිත්‍රවරුනි ජනාධිපතිවරණය ගැන කතා කරන කොට තමුන්නාන්සේලාට තියෙනවා වැදගත් තීන්දුවක් ගන්න. අද මේ බස් නැවතුම්පොළ විවෘත වෙන්නේ මේ ප්‍රදේශයේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න. දැන් නොවැම්බර් මාසයේ තමුන්නාන්සේලාට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. මේ විවෘත කරපු බස් නැවතුම්පොළට විත් බස් එකෙන් ගෙදර යනවා ද? එහේම නැත්නම් සුදු වෑන් එකෙන් කැරකොප්පුවට යනවා ද කියන තීන්දුව ගන්න සිද්ධ වෙනවා."