ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය යළිත් කරළියට

ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය යළිත් කරළියට

by Staff writer 15-08-2019 | 7:53 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය යළිත් ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ. ඒ, අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ පුද්ගලයන්ගේ ලේඛනයේ රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් නොවීම හේතුවෙනි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපතිවරයෙකු වීමට හැකියාවක් නොමැත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකානු පුරවැසිභාවය හිමිව තිබීම පසුගිය කාලයේ ප්‍රධාන මාතෘකාවක් වූ අතර, පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා එම පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ කටයුතු සඳහා අප්‍රේල් මාසය ආරම්භයේදී අමෙරිකාවේ සංචාරය කළ අතර යළි පැමිණියේ අප්‍රේල් 12 වන දා ය. එවකට පොදුජන පෙරමුණේ නියෝජිතයින් ප්‍රකාශ කළේ, අගෝස්තු මුලදී අමෙරිකානු බලධාරීන් නිකුත් කරන ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වන බැවින් පුරවැසිභාවය ගැටලුවක් නොවන බව ය. කෙසේ වෙතත් අද ප්‍රසිද්ධ කෙරුණු ජුනි 30 දක්වා අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරන ලද පුද්ගලයින්ගේ නාම ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී නොමැත.