ඉන්දියාවේ 73 වැනි නිදහස් සැමරුම අද යි

ඉන්දියාවේ 73 වැනි නිදහස් සැමරුම අද යි

by Staff writer 15-08-2019 | 9:23 AM

News 1st - ඉන්දියාව, බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලබා අදට 73 වසරක් සපිරේ.

ජම්මු සහ කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු නිදහස් සැමරුම මෙයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී 73 වැනි නිදහස් දින සැමරුම අද පැවැත්වේ. අග්‍රාමාත්‍යවරයා සිය නිදහස් දින දේශනයේදී ජම්මු කාශ්මීරයට ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත් කිරීම රට සංවර්ධනයට ගෙන ඇති පියවර ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති. මේ අතර ඉන්දු - පකිස්ථාන දේශසීමාවේ සහ ජම්මු කාශ්මීරයේ ආරක්ෂාව තර කරමින් කාශ්මීර නිම්නයේ පමණක් පොලිස් සහ අතුරු හමුදා භටයින් ලක්ෂ එකහමාරක් පමණ යෙදවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. ඒ, ඉදිරි පැය 24 තුළ පකිස්ථානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබී ඇති බුද්ධි තොරතුරුවලට අනුවයි. ජම්මු කාශ්මීරයට ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ඊයේ පස්වරුවේ ජාතිය අමතමින් ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ප්‍රකාශ කළේ ය. ඉන් ඉන්දියාවේ සෙසු පුරවැසියන්ට මෙන්ම ජම්මු කාශ්මීර ජනතාවට ද සමාන අයිතිවාසිකම් සහ වරප්‍රසාද භුක්තිවිඳීමට ස්ථිර වශයෙන්ම අවස්ථාව හිමිවනු ඇතැයි ඉන්දීය ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය. නූතන ඉන්දියාව මුහුණපාන ගැටලු පිළිබඳ මහත්මා ගාන්ධිතුමන් දැනසිටි බව ඉන්දීය ජනාධිපතිවරයා සඳහන් කළේ, මහත්මා ගාන්ධිතුමන් ඉදිරිපත් කළ මාවත වර්තමානයට ද සුදුසු බව අවධාරණය කරමිනි. මේ අතර ඉන්දීය නිදහස් දිනය කළු දිනයක් ලෙස සළකා ක්‍රියාකරන බව පකිස්ථානය සඳහන් කළේ ය. පකිස්ථාන කාශ්මීරයේ මෙන්ම රටපුරා නිවෙස්වල කළු ධජ ඔසවමින් විරෝධතා රැළි පවත්වමින් එරට වැසියන් අද කළු දිනයක් ලෙස සමරනු ඇති.