by Staff writer 14-08-2019 | 5:59 PM
COLOMBO (News 1st) - ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.
අදාළ තීරණයට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
මේ වසර අගදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට යෙදී ඇති බැවින් ඉන් පසුව පත් වන නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව හා රජයේ නව ප්‍රතිපත්ති මූලික කර ගනිමින් 2020 අයවැය සකස් කිරීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.
ඒ අනුව ලබන වසරේ මුල් මාස 04 ක කාලය සඳහා රජයේ වියදම් ඇතුළත් කරමින් පරිපූරක ඇස්තමේන්තුවක් නොවැම්බර් මස මැදදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
තවද ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිඩ් කාඩ් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට කරන ගෙවිම් මත 3.5% ක විදේශ වාණිජ ගනුදෙනු මත අයබද්ධක් පැනවීම ඇතුළු කරුණු කිහිපයක් කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.
ඊට අදාළ මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
මේ අතර දේශීය බඩ ඉරිගු අවශ්‍යතාව සඳහා තවත් බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 30000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සත්ත්ව පාලනයේ නිරත ආයතන සඳහා සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා මෙම බඩ ඉරිගු ආනයනය කරන බවයි.
අදාළ බඩ ඉරිගු තොගය ලබන වසරේ ජනවාරි 31 වැනි දාට පෙර ආනයනය කළ යුතු අතර කිලෝ එකක් මත රුපියල් 10 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ද අය කෙරෙනු ඇති.