කොළඹ සිට අරුවක්කාලු ගිය කසළ ලොරි දෙකක් එකිනෙක ගැටෙයි

by Staff writer 14-08-2019 | 6:35 PM

COLOMBO (News 1st) - පුත්තලම අරුවක්කාලු අංගනයට බැහැර කිරීම සඳහා කොළඹ සිට කසළ රැගෙන ගිය ලොරි දෙකක් එකිනෙක ගැටීමෙන් අද අලුයම අනතුරක් සිදු විය.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, තුවාල ලැබූ එක් රියැදුරෙකු මේවනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.‍ අද අලුයම 3.45 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ පුත්තලම මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී ය. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එක් කසළ ලොරියක් අනෙක පසුකර යෑමට උත්සහා කිරීමේදී අනතුර සිදුව ඇති බවට සැකකරන බවයි. අනතුරට ලක් වූ කසළ ලොරි දෙකේම අංක තහඩු නොතිබූ බව ද අප වාර්තාකරු පැවසුවේ ය. අනතුරට ලක් වූ ලොරි දෙකේ තිබූ කසළ වෙනත් ලොරි දෙකකට පටවා ඉවත් කිරීමට යාමේදී අවට පිරිස් ඊට විරෝධය පළ කළේ, එම ස්ථානයේදී එය සිදු නොකරන ලෙස ඉල්ලමිනි. එහෙත් මුන්නදලම පොලීසියේ මැදිහත්වීමේන් අදාළ කසළ වෙනත් ලොරිවලට පටවා ඉවත් කරනු ලැබුවේ ය. මේ අතර මඩකලපුව මහ රෝහලේ අපද්‍රව්‍ය සෙන්කලඩි ගම්මානයට බැහැර කිරීමට සූදානම් වන අවස්ථාවේදී ගම්වාසින් අද ඊට විරෝධය පළ කළහ. එම ස්ථානයට දිස්ත්‍රික් ලේකම්වරයා හා රෝහල් බලධාරීන් පැමිණි අතර එම අවස්ථාවේ ඇතිවුනේ තරමක නොසන්සුන් තත්ත්වයකි. අවසානයේ මහජන විරෝධයට හිස නමමින් සෙන්කඩලඩි ගම්මානයට රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවීමට රෝහල් බලධාරීන් තීරණය කළහ. මේ අතර සෙවනගල කිරිඉබ්බන්ආර සමගිපුර ප්‍රදේශයට ඊයේ බැහැර කිරීමට ගෙනා සායනික අපද්‍රව්‍ය තොගය මේවනවිට පොලිස් භාරයට ගෙන තිබේ. එම කසළ තොගය එම ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව ඊයේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක ද නිරත විය. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මෙම කසළ තොගය මීට පෙර පෞද්ගලික ඉඩමකට බැහැර කර ඒ පිළිබඳ අනාවරණය වීම හේතුවෙන් නැවත හම්බන්තොට ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි. එහෙත් එහිදී ද කසළ බැහැර කිරීමට විරෝධය එල්ලවීම හේතුවෙන් නැවැත රැගෙන විත් තිබේ. මේ අතර පොලීසිය ප්‍රකාශ කළේ, මුලින් කසළ බැහැර කර තිබූ ස්ථානයේ හිමිකරු ඒවා රැගෙන ආ ස්ථානයක් පිළිබඳව ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. එම පුද්ගලයා අද මධ්‍යම පරිසර අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් කාර්යාලය වෙත කැඳවා තිබුණි. ඔහු අවස්ථා කිහිපයකදී වරින්වර එම නිලධාරීන්ට පැමිණෙන බව දැනුම් දුන්න ද ඔහු එය මගහැරි බව අප කළ විමසීමකදී මධ්‍යම පරිසර අධිකාරීය ප්‍රකාශ කළේ ය. මේ අතර බදුල්ල මහ රෝහලේ පිළිකා රෝගීන්ට ලබාදෙන බව කියන විෂ සහිත ඖෂධ තොගයක් දීර්ඝ කාලයක් තිස්සේ බදුල්ලේ සතොස තොග ගබඩාවක අනාරක්ෂිතව ගොඩ ගසා තිබීම පිළිබඳව අපි ඊයේ වාර්තා කළෙමු.