අකිලගේ දඟ පන්දුවෙන් නවසීලන්තය අසරණ වෙයි

අකිලගේ දඟ පන්දුවෙන් නවසීලන්තය අසරණ වෙයි

by Staff writer 14-08-2019 | 6:12 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය.

අද දිනය අවසන් වන විට පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 68 ක් අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 203 කි. අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සහභාගී වන පළමු තරගාවලිය මෙය වේ. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 71කදී බිඳ වැටුණි. ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු 30 කට දැවී ගිය අතර නායක කේන් විලියම්සන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වුයේ නැත. ජීට් රාවල් ලකුණු 33යි. අනතුරුව පිටියේ ස්ථාවර වූ රොස් ටේලර් සහ හෙන්රි නිකොල්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 100 ක සබඳතාවක් ගොඩනැගුවේ ය. රොස් ටේලර් අද වාර්තා කළේ, 31 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. නවසීලන්ත මුල් පෙළ කඩුලු 5 ම දවා ගත්තේ අකිල ධනංජය. ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 සීමාව පසු කළ සිව්වැනි අවස්ථාව මෙය වේ. පන්දුවාර 68 ක් අවසානයේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ලකුණු 86 ක් රැස් කරගෙන සිටි රොස් ටේලර් සහ ලකුණු 8 ක් ලැබූ මිචෙල් සැන්ට්නර් ය.