කළු හා ගිං ගංගාවල ජල මට්ටම් පහළට

සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගිය කළු හා ගිං ගංගාවල ජල මට්ටම් පහළට

by Staff writer 14-08-2019 | 7:20 AM
COLOMBO (News 1st) - වර්ෂාවත් සමග සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගිය කළු හා ගිං ගංගාවල ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගඟ පිටාර ගැලීමත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු බුද්ධික ගුණවර්ධන සඳහන් කළේ ය. මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා දකුණු පළාත් ඇතුළු ප්‍රදේශ රැසකට අදත් තද වැසි ඇති විය හැකි බව ය. මධ්‍යම, සබරගමුව පළාත්වලටත්, ගාල්ල මාතර හා කළුතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ක් දක්වා තද සුළං අපේක්ෂා කළ හැකි ය. මේ අතර පොතුවිල් සිට හම්බන්තොට, කොළඹ පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානය යොමු කරන ලෙස ද කාලගුණ අනාවැකියේ සඳහන් ය. මේ අතර රත්නපුර, කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නාය යාම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඒ ආශ්‍රිතව සිටින ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බව ය.