පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා අටමස්ථාන වන්දනාවේ

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා අටමස්ථාන වන්දනාවේ

by Staff writer 13-08-2019 | 9:16 PM
COLOMBO (News 1st) - පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැඳ පුදා ගත්තේ ය. අද උදෑසන අනුරාධපුර පූජා භූමියට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියහ. අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට අශිර්වාද පතා සෙත් පිරිත් සජ්ඣායනයක් ද පැවැත්විණි. මිරිසවැටිය පුදබිමට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා එහි විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. අනතුරුව පිරිස පැමිණියේ ලංකාරාමය වෙතයි. එහිදී ඔවුහු විහාරාධිපති හිමියන් වන පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැදැක අශිර්වාද ලබා ගත්හ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පිටත්වූයේ අභයගිරිය වෙතයි. විහාරාධිපති පූජ්‍ය කල්ලංචියේ සීලරතන හිමියන් බැහැදුටු පිරිස අනතුරුව පැමිණියේ අභයගිරි පූර්වාරාමය වෙත ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එහි විහාරාධිපති පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමියන්ව බැහැදුටුවේ ය. කුට්ටම් පොකුණු රජ මහා විහාරයේ විහාරාධිපති ඉහළගම පවරකිත්ති හිමියන් බැහැදුටු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනතුරුව ජයන්ති විහාරය වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඥ්ඥානන්ද හිමියන් බැහැදුටුවේ ය. ජේතවනාරාමයට පැමිණ පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන් බැහැදුටු ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේගේ ද ආශිර්වාදය ලබා ගත්තේ ය.