අද ත් ප්‍රදේශ කිහිපයකට වැසි

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කෙරේ

by Staff writer 13-08-2019 | 6:55 AM

COLOMBO (News 1st) - මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ලක්ෂපාන කැනියෝන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු ද ඊයේ විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මහවැලි ගගේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් ඊයේ රාත්‍රියේ විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ, මහවැලි සහ කැලණි ගඟ භාවිතා කිරීමේදී විමසිලිමත් වන ලෙසයි. මහවැලි ගගේ ඉහළ පෝෂක ප්‍රදේශවලට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන් ය. ඊයේ රාත්‍රී 9.00 ට පමණ පොල්ගොල්ල මහවැලි වේල්ල භාර ඉන්ජිනේරු නිලධාරීන් මෙලෙස වාන් දොරටු විවෘත කර තිබුණි. මෙම දොරටු තුනෙන් මුදා හැරෙන ජලය හේතුවෙන් පොල්ගොල්ල වේල්ලේ පහළ ප්‍රදේශවල සිටින ජනතාවට වඩාත් පරීක්ෂාකාරී වන ලෙස මහවැලි වේල්ල කාර්යභාර නිලධාරීන් සඳහන් කළහ. මේ අතර බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. 50 - 60 දක්වා ද උතුරුමැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. 40 - 50 දක්වා ද ක්ෂණිකව ඉහළයාමේ හැකියාවක් පවති. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 - 75 පමණ වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.