ලසන්ත වික්‍රමතුංගගේ දියණියගෙන් අගමැතිට ලිපියක්

ජනපති අපේක්ෂකයා සිය පියාගේ ඝාතකයින් සමග රහසේ ගනුදෙනු කරන අය නොවිය යුතුයි - ලසන්තගේ දියණිය

by Staff writer 13-08-2019 | 7:11 PM
COLOMBO (News 1st) - ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ. ඇය එම ලිපියෙන් ඉල්ලා සිටින්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ඉදිරිපත් කරන අපේක්ෂකයා ඔවුන් සමග රහසේ ගනුදෙනු කරන අයෙකු නොවිය යුතු බව ය. අග්‍රාමාත්‍යවරයා ඊයේ හෝමාගම, ජල්තරදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාරයක් ලෙස අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය මෙම ලිපිය යවා තිබේ. ඇය පවසන්නේ, තම පියා වන ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එහිදී යළිත් අදහස් පළ කළ බව ය. ගෝඨාභය රාජපක්ෂ මහතා තම පියා ඇතුළු ඝාතනවලට සමාව ඉල්ලා සිටින්නේදැයි එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළ බව ඇය පවසයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක සමාව ඉල්ලා සිටින්නේ නැතැයි අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය රනිල් වික්‍රමසිංහ මහතාට යැවූ ලිපියෙන් සිහිපත් කර තිබේ. අවුරුදු හතර හමාරක් ගත වන තෙක් අද යළි චෝදනා නගන පුද්ගලයා ආරක්ෂා කිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටින්නේදැයි ඇය අග්‍රාමාත්‍යවරයාගෙන් පෙරළා ප්‍රශ්න කරයි. අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය සිහිපත් කර ඇත්තේ, සිය පියා මිය ගිය දිනයේ සිට මේ දක්වාම ඡන්ද වෙනුවෙන් එම මරණය යොදා ගන්නා බව ය. 2015දී ආණ්ඩු බලය ගැනීමේදීත් තම පියාගේ මරණයට යුක්තිය ඉටු කරන බවට ප්‍රතිඥා දුන් බව පෙන්වා දෙන ඇය, බලයට පැමිණි වහා ඒවා අමතක කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යළි සිහිපත් කර දී තිබේ. ඇය පවසන්නේ, යළිත් මැතිවරණ සමයක් උදා වී ඇති නිසා ඝාතකයින් යැයි චෝදනා කරමින් යළිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇති බව ය. රනිල් වික්‍රමසිංහ මහතා එවැනි ප්‍රකාශ කරද්දී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අමාත්‍යවරයා ඇතුළු අනෙකුත් අමාත්‍යවරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඔහුගේ නිවසේ රහසිගතව සාකච්ඡා කරන බව ද අහිම්සා වික්‍රමතුංග මෙනවිය රනිල් වික්‍රමසිංහ මහතාට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.