ඇමති ගාමිණී ජයවික්‍රම අද ජනපති කොමිසමට

ඇමති ගාමිණී ජයවික්‍රම අද ජනපති කොමිසම හමුවට

by Staff writer 13-08-2019 | 7:40 AM

COLOMBO (News 1st) - බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

ඒ, මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහායි. ඒ අනුව අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා අද පෙරවරු 9.30ට කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත වේ. මේ අතර හිටපු විදුලිබල අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජිත් සියඹලාපිටිය මහතා ද අද ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටිමට නියමිතයි. විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිලදී ගැනීමේදී සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදී සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් ගොනු වූ පැමිණිල්ලකට අදාළව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා ඇති බව ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ඒ අනුව හිටපු අමාත්‍ය රාංජිත් සියඹලාපිටිය මහතා අද පෙරවරු 8.00 ට කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටිමට නියමිතයි. මේ අතර මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීම හේතුවෙන් සිදුව ඇති අලාභය සම්බන්ධයෙන් තක්සේරු වාර්තාව කඩිනමින් කොමිසම හමුවට ඉදිරිපත් කරන්නැයි රජයේ තක්සේරු දෙපාර්තුමේන්තුවේ දැනුම් දී තිබේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම වාර්තාව මගින් ගුවන්තොටුපොළේ ධාවන පථය දෙපස විදුලි පහන්, ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඇති යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර, ගොඩනැගිලි සහ අනෙකුත් උපකරණවලට සිදුව ඇති හානිය තක්සේරු කරනු ඇති බවයි. රජයේ තක්සේරු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පිරිසක් ජනාධිපති කොමිසමේ නිලධාරීන් සමග පසුගිය 8 වන දා මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.