"ජනාධිපතිවරණය තමයි තියන්නේ කියලා අපිට කියන්න බැහැ" - මහින්ද දේශප්‍රිය

by Staff writer 12-08-2019 | 9:28 PM

COLOMBO (News 1st) - වයස අවුරුදු 18 තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තරුණයෝ සංවිධානය අද මැතිවරණ කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

රටේ ව්‍යවස්ථාවට අනුව වයස අවුරුදු 18 සපුරණ තරණ තරුණියන්ට ඡන්ද අයිතිය හිමිවිය යුතු වුව ද දැනට ඡන්ද හිමි ලේඛනය සලකා බැලීමේ ක්‍රමවේදය තුළ අවුරුදු 19 පමණ වන තෙක් ඡන්ද අයිතිය හිමි නොවන තත්ත්වයක් නිර්මාණය වී අතැයි මේ පිරිස පෙන්වා දෙති. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තරුණයෝ සංවිධානය අද මැතිවරණ කොමිසම ඉදිරිපිටට පැමිණ ඉල්ලා සිටියේ මෙම ක්‍රමවේදය කාර්යක්ෂම කරණ ලෙසයි. එම අවස්ථාවේ පිරිස කොමිසමට කැඳවා එසේ සිදුවන්නේ ඇයිදැයි පැහැදිලි කරදීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේ ය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය,
අපි කතා කරන්න කලින් ඕගොල්ලන්ගේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න.
ප්‍රශ්නය
මැ. කෝ සීයේ අපිට දැන් 18යි. අපේ ඡන්ද අයිතිය කෝ කියලා තමයි මේ ඇවිල්ල ඉන්න ඡන්ද දායකයින් ඉල්ලන්නේ ?
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය,
මගේ කිසිම අවුලක් නෑ සීයේ කියුවට. මොකද මට මාස 5ක මිනිබිරියක් ඉන්නවා. ඒ එක්කම මම කැමතියි අවුරුදු 35ක කෙනෙක්, අපිට 18යි කියලා කියපු එක ගැන. මැ.කෝ ට කිසිම දෙයක් දෙන්න පුළුවන් කමක් නෑ. දැන් ඉන්නේ මැතිවරණ කොමිසමේ සභාපති. ඔබේ ඉල්ලීම් කොමිසමෙන් තමයි කෙරෙන්න ඕනේ. අපි මේ ජනාධිපතිවරණයට බලාපොරොත්තු වුණා. අපි 2019 ඡන්ද හිමි නාම ලේඛනය පාවිච්චි කරන්න. නමුත් අපිට ඒක පාවිච්චි කරන්න බැහැ 2018 ඡන්ද හිමි නාම ලේඛනය අපිට සහතික කර ගන්න බැහැ මොකද මැයි මාසේ, ජුනි මාසේ නාම ලේඛන ප්‍රතිශෝධනය පටන් ගත්තම, අපිට නාම ලේඛනය සහතික කරන්න වෙන්නේ, ඔක්තෝබර් මාසේ 31 වැනි දා. අපිට ඡන්ද හිමි නාම ලේඛනය 2019 නොවැම්බර් මාසේ ඉවර වෙනකන් ගන්න බෑ. එතකොට පාවිච්චි කරන්න වෙන්නේ 2018 නාම ලේඛනය. එහෙනම් ඡන්දේ දාන්න ඕනේ ඒ ගොල්ලන් කියන එක ඇත්තයි. අවුරුදු 19 යි, මාස 6 ක් විතර වෙන අයට තමයි මේ ජනාධිපතිවරණයට ඡන්දෙ දාන්න වෙන්නෙ. හැබැයි මේ සඳහා 2012 ඉඳන් මැතිවරණ කොමිෂන් සභාව මහන්සිවෙලා හදපු පනතක් තියෙනවා. ඡන්ද හිමි නාම ලේඛන සංශෝධන පනත‍ පාර්ලිමේන්තුවේදී සම්මත වුණත් අපිට පුළුවන් ඒ පනතින් 18 තරුණයින්ට ඡන්ද බලය දෙන්න. තමුන්නාන්සේලා මේක අල්ලන්න ඕනි මැතිවරණ කොමිෂන් සභාව ඉස්සරහ නෙවෙයි. මේක ඇත්තටම අරන් යන්න ඕනි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට.
ප්‍රශ්නය,
ඔබතුමා දැන් සූදානම් වෙන්නෙ මොන මැතිවරණයට ද?
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය,
නීතිය අනුව පවත්වන්න තියෙන ඡන්ද විමසීම තමයි පළාත් සභා ඡන්ද විමසීම. ඒකට ලෑස්තිවෙලා ඉන්නෙ. අපට ජනාධිපතිවරණෙට සූදානම් වෙන්න පුළුවන් ළඟම දිනේ තමයි සැප්තැම්බර් 3 වෙනි සතියවත් වෙන්න ඕනි. එතකන් අපිට කියන්න බෑ අපි දැන් ජනාධිපතිවරණය තමයි තියන්නේ කියලා. ජනාධිපතිවරණය පැවැත්වීමට අපෙත් සූදානමක් තියෙනවා ජනවාරි මාසේ 09 වෙනි දා‍ ඉඳලා. මොකද ගරු ජනාධිපතිතුමටෙ පුළුවන්නේ කළින් ඡන්දෙ තියන්න. අපි ඕනම වේලාවක සූදානම් වන ඡන්දය තමයි පාර්ලිමේන්තු මැතිවරණය. පාර්ලිමේන්තුවට පුළුවන් ඕනම වේලාවක ඒගොල්ලන් ස්වෙච්ඡාවෙන් විසුරු‍වාගෙන ඡන්දෙ තියන්න. නමුත් අපි එහෙම වෙන එකක් නෑ කියන විශ්වාසයෙන් අපි පහුගිය දවස්වල ජනාධිපතිවරණයට ඕන කඩදාසිත් හදල තියෙනවා. පළාත් සභා ඡන්ද විමසීම දෙවිදියටම තියන්න ඕනකඩදාසිත් හදලා තියෙනවා.
ප්‍රශ්නය,
ඊයේ අපි දැක්කා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය ලබා ගන්න ඒ වගේම එතුමන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙලා ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. එතකොට එතුමා‍ගේ පාර්ලිමේන්තු ධුරය අහෝසිවීමක් සිද්ධ වෙන්නේ නැද් ද?
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය,
ඒක අපිට අදාළ නෑනේ. ඒක එතුමන්ලට අයිති දේශපාලන පක්ෂවල වැඩක්. ඒක දන්වල එව්වම කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට දැන්වුවම පාර්ලිමේන්තුවයි දන්වන්න ඕන. ඒක එතනින් ක්‍රියා කරනවා මිසක් පක්ෂවල තියෙන අභ්‍යන්තර විනය ගැටලු මැතිවරණ කොමිසන් සභාව මැදිහත් වෙන එකක් නෙමේ.