පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර සාකච්ඡා අඛණ්ඩව

ජනපති අපේක්ෂකයා නම් කළ ද පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර සාකච්ඡා අඛණ්ඩව

by Staff writer 12-08-2019 | 7:11 AM
COLOMBO (News 1st) - ජනාධිපති අපේක්ෂකයා නම් කළ ද පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර සාකච්ඡා අඛණ්ඩව පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. අමරවීර මහතා පැවසුවේ, පොදුජන පෙරමුණ නම් කරන ලද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ය. ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වූ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද අමරවීර මහතා අදහස් පළ කළේ ය.
මහින්ද අමරවීර - මහ ලේකම් එක්සත් ජනතා නිදහස් සන්ධානය "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නෙක් විතරයි ගිහිල්ලා තියෙන්නේ. සරත් අමුණුගමත් ගේරු මහත්මයාත් විතරයි. අපි කාටවත් යන්න එපා කියලා තහංචියක් දැම්මේ නැහැ."
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ද මහින්ද අමරවීර මහතා අදහස් පළ කළේ ය.
මහින්ද අමරවීර - මහ ලේකම් එක්සත් ජනතා නිදහස් සන්ධානය "අපි පක්ෂයක් විදිහට ඔහුගේ වැඩපිළිවෙළ පිළිබඳවත් සාකච්ඡා කරනවා. අපි ඉදිරියේදී පක්ෂය විදිහට තමයි තීන්දු කරන්නේ ඔහුව පිළිගන්නවා ද නැද්ද කියන එක පිළිබඳව. කොහොම වුණත් අපේ බලාපොරොත්තුවක් නැහැ 3 වැනි අපේක්ෂකයෙක් දාන්න හෝ එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන කටයුත්තකට අපේ බලාපොරොත්තුවක් නැහැ."