"අපේ අපේක්ෂකයා දුප්පත්කම හඳුනන නීති ගරුක අයෙක්" - කබීර් හෂීම්

by Staff writer 12-08-2019 | 10:01 PM

COLOMBO (News 1st) - තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් තෝරාපත් කරගෙන ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට සියලු කටයුතු සූදානාම් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම කටයුතු පක්ෂයේ එකඟතාවය ඇතිව නුදුරේදීම සිදු වන බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවා එහි නායකත්වයට පත් වීම පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව කබීර් හෂීම් මහතා පවසයි. අමාත්‍යවරයා සිය නිවේදනයෙන් ප්‍රශ්න කරන්නේ එවැනි අයෙකු රටේ නීතියේ ආධිපත්‍ය සුරකිනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේ ද යන්නයි. චෝදනා රැසකට අධිකරණය හමුවේ විත්තිකරුවී සිටින අමෙරිකානු පුරවැසි සිය සහෝදරයාව මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම රටෙහි නීතියට පටහැනි මෙන්ම ජනතාව නොමග යැවීමක් බව ද කබීර් හෂීම් මහතා පෙන්වා දෙයි. ඔහු සිය නිවේදනයේ අවධාරණය කරන්නේ, එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන්නේ මාතෘ භූමියට ආදරය කරන, ප්‍රජාතන්වාදී මෙන්ම අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා නොලැබූ අපේක්ෂකයෙකු බවයි. එම අපේක්ෂකයා සියලු පුරවැසියන්ට ගරු කරන, සියලු ජාති ආගම් පිළිගන්නා, නායකයෙකු බවත්, ඔහු රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි අනාගත පරපුර නව ලොවට ගෙන ගිය හැකි දුප්පතාගේ දුක හඳුනන, උගත්, නීති ගරුක පුද්ගලයකු වනු ඇති බවත් කබීර් හෂීම් මහතා පැවසුවේ ය.