ඉන්දියාවේ ගංවතුරෙන් 160 දෙනෙකු මරුට

ඉන්දියාවේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 160ක් දක්වා ඉහළට

by Staff writer 12-08-2019 | 10:30 AM
(News 1st) - මෝසම් වැසි හේතුවෙන් හටගත් ගංවතුරෙන් ඉන්දියාවේ දකුණු දිග සහ බටහිර ප්‍රදේශවල මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දීය බලධාරීන් සඳහන් කළේ, ඉන් පුද්ගල මරණ 72ක්ම වාර්තා වී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන් බව ය. කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වන එවැනි ජීවිත හානි සංඛ්‍යාව 31කි. පූනේ ප්‍රදේශයේ ගංවතුරෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 40 ඉක්මවන අතර තවත් පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන්ව සිටින බව සඳහන් ය. මේ හේතුවෙන් කර්ණාටක, මහාරාෂ්ට්‍ර සහ කේරළ ප්‍රාන්තවල අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ ගණනක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ගංවතුර හේතුවෙන් මීට දින පහකට පෙර වසා දැමුණු මුම්බායි - බෙංගලූරු අධිවේගී මාර්ගය අද දින යළි විවෘත කිරීමට ඉඩ ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති. ඉන්දියාවේ ගංවතුරෙන් බලපෑමට ලක් වූ සෙසු ප්‍රාන්ත අතරට ආන්ද්‍රා ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ් සහ ගුජරාට් ද අයත් වේ. මේ අතර ලේකිමා සුළි කුණාටුවෙන් චීනයේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 16 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බව ය. මේ හමුවේ පුද්ගලයින් මිලියනයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ශෙජියෑන් පළාතේ පුද්ගලයින් මිලියන 5ක් කුණාටුවේ බලපෑමට ලක්ව සිටින බව සඳහන් ය. පෙරේදා චීනයේ ශැංහයි නුවර සහ තායිවානය අතරට කඩා වැදුණු මෙම සුළි කුණාටුව මේ වන විට චීනයේ නැගෙනහිර වෙරළ දෙසට හමා යමින් ඇතැයි වාර්තා වේ.