කොංග්‍රස් පක්ෂ සභාපතිත්වය යළි සෝනියා ගාන්ධිට

ඉන්දිය කොංග්‍රස් පක්ෂ සභාපතිත්වය යළිත් සෝනියා ගාන්ධිට

by Staff writer 11-08-2019 | 6:50 AM
COLOMBO (News 1st) : ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයට යළිත් වරක් සෝනියා ගාන්ධි පත්ව තිබේ. ඒ, පක්ෂයේ විධායක සභා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැය 12 ක කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ගාන්ධි - නේරු පවුල් ආධිපත්‍යයෙන් බැහැරව නව සභාපතිවරයෙකු තෝරා ගැනීමට විධායක කමිටුව අසමත් වී ඇත්තේ පක්ෂයට ආවේණික සාම්ප්‍රදායික ලක්ෂණ තවදුරටත් තහවුරු කරමිනි. පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයේ වගකීම භාර ගනිමින් පසුගියදා රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය. සෝනියා ගාන්ධි පක්ෂයේ අන්තර්වාර සභාපති ධුරයට පත්කර ඇත්තේ වසර අවසානයේ පූර්ණ සැසිවාරය පවත්වන තෙක් පමණක් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. සෝනියා ගාන්ධි 1998 වසරේ සිට 2017 වසර තෙක් වසර 19 ක කාලයක් කොංග්‍රස් පක්ෂ සභාපති ධූරය හොබවනු ලැබී ය. බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබීමෙන් පසු වසර 49 ක් ඉන්දියාව පාලනය කරනු ලැබුවේ, කොංග්‍රස් පක්ෂය විසිනි. කොංග්‍රස් පක්ෂ නායකත්වය දැරූ ජවහාල්ලාල් නේරු, රජිව් ගාන්ධි, ඉන්දිරා ගාන්ධි, මංමෝහං සිං ඇතුළු ප්‍රබලයින් 7 දෙනෙකු අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඉන්දියාවේ පාලනය යළි සියතට ගැනීමට නම්, පක්ෂයේ නව නායකත්වයට පත්වන චරිතයට ප්‍රබල සටනක් ඇරඹීමට සිදුවනු ඇති.