මට්ටක්කුලිය පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මිය යයි

මට්ටක්කුලිය පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මිය යයි

by Staff writer 10-08-2019 | 6:10 PM
COLOMBO (News 1st) - මට්ටක්කුලිය පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක 3 වන මහලෙන් බිමට පනින ලද සැකකරුවෙකු මෙලෙස මිය ගොස් ඇති බව ය. සොරකමක් සඳහා අද අලුයම නිවසකට ඇතුළු වූ මෙම සැකකරු නිවැසි කාන්තාව කෑගැසිමත් සමග ගොඩනැගිල්ලෙන් බිමට පැන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අද අලුයම 4.45ට පමණ 119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සැකකරු අල්ලා පොලීසිය වෙත භාර දී ඇති බව ය. පොලීසිය භාරයේ සිටි සැකකරු අද පෙරවරු 9.00ට පමණ මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මෙලෙස මිය ගොස් ඇත්තේ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.