සුළඟේ වේගය ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

පළාත් කිහිපයක සුළඟේ වේගය ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

by Staff writer 10-08-2019 | 11:49 AM
COLOMBO (News 1st) : උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 55 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද සුළං ඇතිවිම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, විශේෂයෙන්ම සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී එම තත්ත්වය ඇතිවිය හැකි බවයි. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේ ය. බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිත සුළඟේ වේගය ඉහල යා හැකි බැවින් තවදුරටත් ධීවර කටයුතුවලින් වැළකී සිටින්නැයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ධීවර ප්‍රජාවට දැනුම් දී සිටී. මේ අතර පසුගිය දිනවලදී දිවයිනට බලපෑ , අධික සුළං සහ වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීමේ කටයුතු ආරම්භ කර තිබේ. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සදහන් කළේ, නිවාස හානිවූවන්ට මුල් අදියරේදී රුපියල් 10000 ක මුදලක් ලබා දෙන බවයි. ඒ අනුව කොළඹ ,ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක , නිවාස හානි වූවන්ට වන්දි ලබා දීම අද දිනයේ සිදු කෙරෙනු ඇති. චමින්ද පතිරාජ මහතා ප්‍රකාශ කළේ, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත සහ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හානි වූ නිවාස සඳහා වන්දි මුදල් ලබා දුන් බවයි.