කොළඹ කුණු අර්බුදය දින කිහිපයක් දිග් ගැස්සෙන ලකුණු

කොළඹ කුණු අර්බුදය තවත් දින කිහිපයක් දිග් ගැස්සෙන ලකුණු

by Staff writer 10-08-2019 | 8:35 PM
COLOMBO (News 1st) - දින කිහිපයක් පුරා කොළඹ ගොඩගැසුණු කසළ අරුවක්කාලු කසළ අංගනයට බැහැර කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී. ඊයේ රාත්‍රී 11.30 පමණ වන විට කොළඹ තිබූ කසළ රැගත් තවත් ටිපර් රථ 17ක් අරුවක්කාලු වෙත රැගෙන ගොස් තිබේ. කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසුවේ, අද උදෑසන තවත් ටිපර් රථ 7ක් අරුවක්කාලු කසළ අංගනය වෙත පිටත් වූ බව ය. නිසි පරිදි වෙන් කර රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර විධිමත් ලෙස කසළ මේ අංගනයට බැහැර කෙරෙන බවට බලධාරීන් පැවසුව ද එම කසළ අරුවක්කාරු අංගනයට විධිමත් ලෙස බැහැර කර නොතිබේ. අරුවක්කාලු කසළ අංගනයේ ඉදිකිරීම් ආරම්භ වූ දා සිට ඒ අවට ප්‍රදේශවාසීන් දිගින් දිගටම වීදි සටන්වලට එළැඹුණේ මේ හරහා සිදු විය හැකි පාරිසරික හා සමාජීය ගැටලු පෙන්වා දෙමිනි. එවන් පසුබිමක අරුවක්කාලු ප්‍රදේශවාසීන් හා බලධාරීන් එකම වේදිකාවකට ගෙන එමින් 2018 වසරේ නොවැම්බර් මස 01 වන දා ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපය පුත්තලම සේරක්කුලිය ගම්මානයේදී පැවැත්විණි. ජනතාව එදින නිලධාරීන් හමුවේ මතු කළ ගැටලුවලට නිලධාරීන් විවිධ පිළිතුරු ලබා දුන්නත් ජනතාව කී අනාවැකි මේ වන විට සනාථ වී ඇති බව පැහැදිලි කරුණකි. විධිමත් ක්‍රමවේදයකට කසළ බැහැර කරන බවට එදා පොරොන්දු දුන් නිලධාරීන්ට අද වන විට කියන්නට සිදුව ඇත්තේ මෙවැන්නකි.
ලාල් ප්‍රනාන්දු හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ "අපි තේරුම් ගන්න ඕන සරල කළමනාකාරිත්වයේදී පොළිතීන්, ප්ලාස්ටික් වෙන් කරනවා කියන එක ඇත්ත. ඒ පොළිතීන් ප්ලාස්ටික් වුණත් වෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි ගන්න ලන්ෂීට් එකේ තැවරුණා නම් කෑම වර්ග ඒක නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න බැහැ ප්‍රායෝගිකව. ඒක නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕන නම් විශාල වියදමක් දරන්න ඕන. එහෙම ක්‍රමවේද තියෙනවා නැත්තේ නෑ. නමුත් අපි වගේ රටකට ඒක දරන්න අමාරුයි. ඒ නිසා අපි මෙතනදී න්‍යායාත්මක එක බලන්න ඕනි ප්‍රායෝගික පැත්තත් එක්ක." රොෂාන් ගුණවර්ධන - සභාපති පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුව "ඇයි අපි කුණුත් එක්ක වතුර ප්‍රවාහනය කරල ගෙනියන වතුරවලට සල්ලි ගෙවන්නෙ. ඒක වළක්වගන්න තමයි අපේ ට්‍රාන්සර් ස්ටේෂන් එකේදී අපි කම්ප්‍රෙස් කරන්නෙ. යාන්ත්‍රික ක්‍රමවේද භාවිත කරලා අපේ අතරමැදි මධ්‍යස්ථානයේදී කැලණියේදී ගොඩනැංවීමට නියමිත මධ්‍යස්ථානයේදී අපි කුණු කම්ප්‍රෙස් කරලා ඒකෙ තියෙන වතුර හැකි පමණ ඉවත් කරනවා. ඒක යාන්ත්‍රික ක්‍රමවේදය කරන්න තාම අපේ ඒ කටයුත්ත ඉවර නෑ. ඉවර නැති නිසා අපිට දැනට ගෙනියන්න වෙන්නෙ ජලය සමග තියෙන තෙතමනය සමග තියෙන කුණු."
මෙවන් පසුබිමක කසළ ගැටලුවට වචනයෙන් එහා ගිය විසඳුමක් ඉදිරිපත් කිරීමට තවමත් බලධාරීන් හා නිලධාරීන් අපොහොසත් වී ඇති බව පැහැදිලි කරුණකි. මේ අතර අදත් කොළඹ තැන තැන කුණු ගොඩ ගැසී තිබිණි.