කාම්බෝජයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

කාම්බෝජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කරන බව ජනපති කියයි

by Staff writer 10-08-2019 | 1:47 PM
COLOMBO (News 1st) : කාම්බෝජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, එතෙක් එම කටයුතු සම්බන්ධිකරණය වෙනුවෙන් කොන්සල්වරුන් පත් කිරීමට කටයුතු කරන බවයි. කාම්බෝජයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේබව කියා සිටියේ, එරට නොම්පෙන්ග් අගනුවර පිහිටි වට් ලංකා ප්‍රාකුසුමාරාම් විහාරස්ථානයේ ආගමික වතාවත්වලට අද පෙරවරුවේ එක් වෙමිනි. උතුම් ථෙරවාදී බුදු දහම ලොවට බෙදා හරින ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේ ය. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර ආයෝජන සහ වෙළඳ කටයුතු පුළුල් කර ගැනීමට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන්වූ බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයා ආරාධනා කළ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.