BREAKING:අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් නිවේදනයක්

BREAKING : "එජාපය සන්ධානගත විය යුත්තේ, ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුවයි"

by Staff writer 09-08-2019 | 4:03 PM
COLOMBO (News1st) : එක්සත් ජාතික පක්ෂය සන්ධානගත විය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නියෝජ්‍ය නායකවරයා මේ බව අවධාරණය කරන්නේ නිවේදනයක් නිකුත් කරමිනි. ඔහු පවසන්නේ සන්ධානයක් පිහිටුවීමට තමා 100% නොව, සියයට ලක්ෂවාරයක් එකඟ බවයි. එහෙත් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු සන්ධානයක් හැකි ඉක්මනින් පිහිට විය යුතු බවට තමා සහ අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බවට අද පුවත්පත් වාර්තා කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පක්ෂයේ මන්ත්‍රී බහුතරයකින් සන්ධානයට එකතුවීමට කැමැත්ත පළ කර ඇති ප්‍රබල පක්ෂ බහුතරය ද දරණ ස්ථාවරයට අනුව එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එසේ කළ හොත් පමණක් යෝජිත සන්ධානය නිර්මාණය වනවා සේම, ඊට තවත් පක්ෂ සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් එකතුවී එය ජයග්‍රාහී සන්ධානයක් බවට පත්වනු ඇති බව ද ප්‍රේමදාස මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ අද සිදුවිය යුත්තේ සාවද්‍ය පුවත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නොව, පළමුව ජනාධිපති අපේක්ෂකයකු නම් කර ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව සන්ධාන ගිවිසුම නිර්මාණය කිරීම බවයි.