පෞ. මන්ත්‍රී යෝජනාවට පක්ෂ වූ පෙත්සම් ප්‍රතික්ෂේපයි

මරණීය දණ්ඩනය : පෞ. මන්ත්‍රී යෝජනාවට පක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් ප්‍රතික්ෂේපයි

by Staff writer 09-08-2019 | 5:22 PM
COLOMBO (News 1st) : මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අහෝසි කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට පක්ෂව ඉදිරිපත් වු පෙත්සම් 5 ක් ශ්‍රේෂ්ඨාධිකරණය අද විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්ෂේප කළේ ය. අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසිනි. එම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට වන අර්ථ නිරූපණයක් කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණ. එම පෙත්සම් අතරින් 3 ක් ඉදිරිපත් කර තිබුණේ මහාචාර්ය සී. ගුණරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ෂෙරින් සරුක් යන අයයි. අදාළ පෙත්සම් තුනට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස ඉදිරිපත් වී කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, එක්සත් සමාජවාදී පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජගත් හේමචන්ද්‍ර යන මහත්වරුන් තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබිණ.