සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කරයි

by Staff writer 08-08-2019 | 10:03 PM
COLOMBO (News 1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ ය. ඒ, රුපියල් මිලියන 306ක මුදලක් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවට ය. නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ, සජින් ද වාස් ගුණවර්ධන මහතා 2010 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා භාර දෙන විට කොස්මෝස් යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් ඔහු සතුව පැවති බව ය. එම සමූහය යටතේ ව්‍යාපාර 21ක් පවත්වාගෙන ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිව ඇති බව ද සඳහන් කෙරිණි. පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීමට පෙර ගුණවර්ධන මහතා එම ව්‍යාපාර සියල්ලකම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත්ව ඔහු සතු වූ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරු කර ඇති බව ය. එහෙත් මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීමෙන් අනතුරුව ද ව්‍යාපාර සියල්ලේම මෙහෙයුම් කටයුතු ගුණවර්ධන මහතා සක්‍රීයව පවත්වාගෙන ගොස් ඇති බව සාක්ෂිවලින් හෙළිදරව් වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ඔහු අදාළ ව්‍යාපාර 21න් 7ක් උපයෝගී කර ගනිමින් සැක කටයුතු ගනුදෙනුවල නිරතව ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇති තවත් කරුණකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරණ සමයේ විශාල මුදලක් ගිණුම්වල තැන්පත් කළේ කෙසේ ද යන්න සාධනීය ලෙස පැහැදිලි කිරීමට සජින් ද වාස් ගුණවර්ධන මහතා අපොහොසත්වී ඇතැයි ද නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු සියලු චෝදනාවලින් එම නඩුවේ විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි. නිදහස ලැබූ නඩුවේ විත්තිකරුවන් වන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ හා ලසන්ත බණ්ඩාර යන තිදෙනා ය. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති කිසිදු අධිචෝදනාවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇතැයි ඒකමතිකව නිගමනය කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් නිදොස් කොට නිදහස් කළේ ය.