තද සුළං හේතුවෙන් මාතලේ, දඹුල්ල සහ නාරාහේන්පිට නිවාස 63 කට හානි

by Staff writer 08-08-2019 | 8:24 AM

COLOMBO (News 1st) - වැසි සමග හමා ගිය තද සුළං හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නිවාස රැසකට හානි සිදුව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස 25 කට ඉන් හානි වී ඇති බවයි. ඊට අමතරව දඹුල්ලේ ද නිවාස 28 කට හානි වී තිබේ. නාරාහේන්පිට හත්බෝධියවත්ත ප්‍රදේශයේ ද නිවාස 10 කට පමණ තද සුළං හේතුවෙන් හානි වී තිබේ. මේ අතර බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි.