කොළඹ කුණු බැහැර කිරීම අඩාල වෙයි

කොළඹ කුණු බැහැර කිරීම අඩාල වෙයි: තැන තැන කුණු එක්රැස් වීමෙන් සෞඛ්‍ය ගැටලු

by Staff writer 08-08-2019 | 7:43 PM
COLOMBO (News 1st) - කොළඹ මහ නගර සීමාව තුළ කසළ බැහැර කිරීම යළිත් අඩාල වී තිබේ. නගර වැසියන් පවසන්නේ, දින තුනක සිට මේ තත්ත්වය උද්ගත වී ඇති බව ය. කොළඹ මහ නගර සීමාවේ රැස්වන කසළ කෙරවලපිටිය අංගනයට බැහැර කිරීම අත්හිටුවීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පසුගිය සඳුදා තීරණය කළේ ය. අමාත්‍යංශය මේ තීරණය ගත්තේ අංගනයේ ධාරිතාව ඉක්මවා ඇතැයි පවසමිනි. ඊට විසඳුමක් ලෙස පුත්තලම, අරුවක්කාරු ප්‍රදේශයේ නව අංගනයට කසළ බැහැර කිරීම ආරම්භ කරන බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. නමුත් තවමත් පුත්තලමට කසළ රැගෙන යාම විධිමත් ලෙස ආරම්භ නොවීම නිසා කොළඹ මහ නගර සීමාවේ කසළ බැහැර කිරීම මේ වන විට අඩාල වී තිබේ. කොළඹ නගරයේ ස්ථාන ගණනාවක අද පෙරවරුවේ කසළ ගොඩ ගසා ඇති අයුරු දක්නට ලැබිණි. විශේෂයෙන් ඩෙංගු ඇතුළු රෝග ව්‍යප්තිය ගැන අවදානමත් මතුව ඇති වැසි සහිත කාලසීමාවක මෙසේ කසළ එක් රැස්වීම බරපතළ සෞඛ්‍ය ගැටලු මතු කර ඇති අයුරු අපි නිරීක්ෂණය කළෙමු. කොළඹ මහ නගර සභාව පවසන පරිදි දිනකට ‍කොළඹ මහ නගර සීමාවේ රැස් වන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 550කි. දින 3ක් පුරා රැස් වූ කසළ මෙට්‍රික් ටොන් 1650ක් පමණ මේ වන විට නගරයේ තැන තැන එක් රැස් කර තිබේ. මහ නගර සභාවේ සේවකයින් පවසන්නේ, කසළ බැහැර කිරීමට නිශ්චිත ස්ථානයක් නොමැති වීම නිසා ඒවා රැස් කිරීම අඩාල වී ඇති බව ය.
පාලිත නානායක්කාර - නාගරික කොමසාරිස් කොළඹ මහ නගර සභාව "දැන් අපිට තියෙන එකම කාරණය මේ එක් රැස් වෙලා තියෙන කසළ ඒ ස්ථානවලින් බැහැර කරලීම. දැන් අද දවසේ අපි මේ වෙන කොට උපදෙස් දීලා තියනවා ඒ ආයතනවලට අද දවසේ මේ කටයුත්ත ආරම්භ කරන්න කියලා. අද හවස් වෙන කොට ඒ අදාළ කසළ අරුවක්කාලු වෙත ගෙන යාමට ඒ ආයතනය පොරොන්දු වුණා."
නාගරික කොමසාරිස්වරයා එලෙස ප්‍රකාශ කළත් අරුවක්කාරු වෙත කසළ රැගෙන යාමේ ක්‍රියාවලිය එතරම් පහසු එකක් නොවේ. අරුවක්කාරු අංගනයට කොළඹ කසළ බැහැර කිරීමේදී වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව මාසිකව රුපියල් මිලියන 2.5ක ගාස්තුවක් ඉල්ලා තිබේ. මීට අමතරව මෙට්‍රික් ටොන් 10ක් පමණ වරකට රැගෙන යා හැකි ලොරියකට එක් වාරයකට රුපියල් 75,000ක මුදලක් මහ නගර සභාව ගෙවිය යුතු බව නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ ය. කොළඹ නගරයේ දිනකට එක්රැස් වන කසළ මෙට්‍රික් ටොන් 550 රැගෙන යාම සඳහා ලොරි රථ 55ක් යෙදවිය යුතු වේ. ඒ අනුව දිනකට අරුවක්කාරු වෙත කසළ ප්‍රවාහනය සඳහා පමණක් කොළඹ මහ නගර සභාව දළ වශයෙන් රුපියල් මිලියන 4.12ක වියදමක් දැරිය යුතු ය. මාසයකට කසළ ප්‍රවාහනය සඳහා පමණක් රුපියල් මිලියන 123.75ක පමණ අතිරේක වියදමක් දැරීමට මහ නගර සභාවට සිදු වේ. මේ අතර කොළඹ කසළ අරුවක්කාරු අංගනයේ බැහැර කිරීම සම්බන්ධයෙන් තවත් බාධාවක් මතුව තිබේ. ඊට හේතුව මාසිකව මිලියන 2.5ක් ඉල්ලා සිටි වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව එම මුදල පමණක් ප්‍රමාණවත් නොවන බව පැවසීමයි. මෙරට කසළ අර්බුදය සඳහා සාර්ථක විසඳුමක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක කසළ මෙට්‍රික් ටොන් 27,000ක් විදේශයෙන් ‍ගෙන්වා තිබීම කණගාටුවට කරුණක් නොවන්නේ ද? මෙම කසළ තොග තවමත් කොළඹ වරායේ හා කටුනායක නිදහස් වෙළෙඳ කාලාපයේ ගොඩ ගසා තිබේ. කොළඹ නගරයේ දිනකට එකතු වන්නේ කසළ මෙට්‍රික් ටොන් 550ක් නම් මෙලෙස ගෙන්වා ඇති කසළ තොගය කොළඹ නගරයේ දින 49ක් එකතු වන කසළ ප්‍රමාණයට සමාන ය. කොළඹ නගරයේ එකතු වන කසළ ප්‍රතිචක්‍රීකරණයට විධිමත් වැඩසටහනක් නොමැති පසුබිමක විදේශයෙන් කසළ ගෙන්වා ඇත්තේ කුමණ අරමුණක් වෙනුවෙන් ද? ලාභයම අපේක්ෂාවෙන් රටේ ජනතාවගේ ජීවිත අවදානමකට ලක් කිරීමට ඉඩදිය යුතු ද?