ඇලෝසියස්ට පනවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කෙරේ

අර්ජුන් ඇලෝසියස්ට පනවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කිරීමට නියෝග

by Staff writer 08-08-2019 | 5:04 PM
COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාට සතියේ සෑම දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පනවා තිබූ ඇප කොන්දේසිය ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා ය. අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ පෙනී සිටීමට සැකකරුට අවසර ලබා දුන්නේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට තාවකාලික තහනමට ලක් කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ගිණුමේ ශේෂය 2018 පෙබරවාරි 16 වන දා සිට මේ දක්වා තම සේවා දායකයාට දැනුම් දී නොමැති බැවින් එම ශේෂය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියෝගයක් කරන ලෙස ද නීතිඥ සජිත ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. මහ බැංකුව විසින් තහනම් කර ඇති එම ගිණුමේ මුදල් සැකකාර සමාගමට අයත් ඒවා බව තම අධිකරණය ද පිළිගන්නා බැවින් ඒ සම්බන්ධයෙන් දැන ගැනීමේ අයිතියක් එම සමාගමට ඇති බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එකී ශේෂය දැනුම් දීම සඳහා අවශ්‍ය කටයුතු යොදන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවියට නියෝග කළා ය.