හමුදාවේ ආනන්ද උදුලාගමට හා ලලිත් රාජපක්ෂට අධිචෝදනා

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය: යුද හමුදාවේ ආනන්ද උදුලාගමට හා ලලිත් රාජපක්ෂට අධිචෝදනා

by Staff writer 07-08-2019 | 9:37 PM
COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දීමේ සිද්ධියේ සැකකරුවන් වන යුද හමුදා මේජර් ප්‍රභාත් සීවලි බුලත්වත්ත ඇතුළු 6 දෙනෙකුට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු නොකරන බව නීතිපතිවරයා දැනුම් දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ කොල්ලකෑම් විමර්ශන අංශය අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා හමුවේ ඒ පිළිබඳව කරුණු වාර්තා කළේ ය. නීති මගින් කටයුතු නොකරන බව සඳහන් කළ සෙසු හමුදා සාමාජිකයින් වන්නේ එස්.ඒ. ප්‍රේමචන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් දුමින්ද වීරරත්න, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක සහ එම්.ආර්. නිශාන්ත කුමාර යන අයයි. නඩුවෙන් මුදා හැරීම සඳහා ඔවුන්ට ලබන 23 වන දා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අද නොතීසි නිකුත් කෙරිණි. අද නඩුව කැඳවූයේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සුගත් කුමාර මහතා ඉදිරිපත් කළ මෝසමක් හේතුවෙනි. නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රකාශ වූයේ ප්‍රේම් ආනන්ද උදුලාගම සහ රාජපක්ෂගේ ලලිත් රාජපක්ෂ යන දෙදෙනා හැර අනෙක් සැකකරුවන්ට නීති මගින් කටයුතු නොකරන බව ය. මේ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දී තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා 4ක් යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බලලත් නිලධාරී ප්‍රේම ආනන්ද උදුලාගම සහ බුද්ධි නිලධාරී ලලිත් රාජපක්ෂ යන දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරනු ලැබී ය. 2009 ජනවාරි 23 වන දා ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී පැමිණිල්ල නොදත් අන් අය සමග මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිදට පහර දී තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා විත්තිකරුවන්ට එරෙහිව නගා තිබේ.