වසන්ත කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකට ගෞරව නිලයන්

මාතෘ භූමිය වෙනුවෙන් කළ සේවය අගයමින් වසන්ත කරන්නාගොඩට සහ රොෂාන් ගුණතිලකට ඉහළම ගෞරව නිලයන්

by Staff writer 07-08-2019 | 11:42 AM

COLOMBO (News 1st) - විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හා විශ්‍රාමික එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෞරව නිලයන් ප්‍රධානය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2005 - 2009 කාල වකවානුවේ නාවික හමුදාපති ධුරය දැරූ විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට පිරිනමා ඇත්තේ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නම් වූ ගෞරව නිලයයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2006 - 2011 කාල වකවානුවේ ගුවන් හමුදාපති ධුරය දැරූ විශ්‍රාමික එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාට මාෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් නම් වු ගෞරවනීය නිලය ප්‍රධානය කර ඇත. මෙම ගෞරව නිල ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් වූ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි. එහි දැක්වෙන්නේ, මාතෘ භූමියෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීත භාවය, ජාතියට පුද කළ ප්‍රශංසනීය සේවය හා සිදුකළ අද්විතිය මෙහෙවර ඇගයීම උදෙසා සේනාධිනායක ලෙස පැවරී ඇති බලතළ ප්‍රකාරව ජනාධිපතිතුමා විසින් මෙම ගෞරව නිලයන් ප්‍රධානය කර ඇති බවයි.