කෝටි 15ක මුදල් වංචාවේ සැකකාරිය රක්ෂිත බන්ධනාගාරයට

බලංගොඩ කෝටි 15ක මුදල් වංචාවේ සැකකාරිය රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 07-08-2019 | 10:27 PM
COLOMBO (News 1st) - බලංගොඩ මොරහැල උඩවෙල ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කර සැඟව සිටි කාන්තාවක රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. පොලීසිය පැවසුවේ, එම කාන්තාව ග්‍රාමීය මූල්‍ය ආයතනයක කළමනාකාරවරියක බව ය. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ පටන් සැඟව සිටි බව පැවසෙන මෙම කාන්තාව එලෙස සැඟව ඇත්තේ අදාළ මූල්‍ය ආයතනය වසා දමා, එහි ගනුදෙනුකරුවන් 400 දෙනෙකුගේ මුදල් වංචා කිරීමෙන් පසුව බවත් පොලීසිය පැවසුවේ ය. ඇයට එරෙහිව පින්නවල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබුණේ මීට මාස කිහිපයක සිට ය. එම කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන්නේ යැයි හෙළි වූ පාසලක් ඉදිරිපිට ගනුදෙනුකරුවන් පිරිසක් ඊයේ රැක සිට ඇත්තේ කිසියම් තොරතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙනි. ඇගේ සැමියා දියණිය සමග පාසලට පැමිණි අවස්ථාවේ ගනුදෙනුකරුවන් ඔහු අල්ලාගෙන බිරිඳ පිළිබඳව විමසා තිබිණි. ඔහුගේ තොරතුරු අනුව බලංගොඩ ඇල්ලපොළ ප්‍රදේශයේ නිවසක සිටියදී ගනුදෙනුකරුවන් ඇය සොයා ගෙන බලංගොඩ පොලීසියට භාර දී ඇතැයි අප වාර්තාකරු පැවසුවේ ය. ඊයේ රාත්‍රියේ එම කාන්තාව පින්නවල පොලීසියට භාර දීමට බලංගොඩ පොලීසිය පියවර ගත්තේ දැනටමත් සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලීසිය විමර්ශන අරඹා ඇති බැවිනි. කාන්තාව අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 20 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අප වාර්තාකරු පැවසුවේ, ඇය වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටි අතර සිද්ධියට අදාළව විගණන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කළ බව ය.