by Staff writer 07-08-2019 | 4:58 PM
COLOMBO (News 1st) - කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබේ.
ඒ, 2012 වසරේ මැයි මස 17 වන දින වසීම් තජුඩීන් යන අයගේ මරණය සිදු කර ඇති බව දැන දැනම වරදකරුවන් නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීමේ අදහසින් එම වරද සිදු කිරීම සම්බන්ධයෙන් සාක්ෂි අතුරුදන් කිරීම හේතුවෙනි.
තජුඩීන්ගේ ශරීරයේ අස්ථි කොටස් අස්ථානගත කිරීම හෝ එලෙස අස්ථානගත කර වීමට සැලැස්වීමෙන් දණ්ඩනීති සංග්‍රහයේ 198 වන වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බව ද නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබ තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ, වෛද්‍ය ආනන්ද සමරසේකර යන අය විසින් වසීම් තජුඩීන්ගේ මරණයට හේතුව හදිසි අනතුරක් හා ගින්නක ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ බවට දක්වා ඇති බව ය.
එහෙත් පසුව අවස්ථාවකදී අධිකරණ නියෝගයක් මත විශේෂ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් යළිත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබී ය.
නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ, එම වාර්තාවට අනුව වසීම් තජුඩීන්ගේ මරණයට හේතුව වශයෙන් මොට ආයුධයකින් සිදු කළ බහුතර තුවාල සහ ගින්නක ප්‍රතිඵල හේතු වූ බවට සාක්ෂි අනුව හෙළිදරව් වී ඇති බව ය.
දෙවන වෛද්‍ය මතය අනුව එය තවදුරටත් තහවුරු කිරීමට වැදගත් සාක්ෂි වශයෙන් පැවති අස්ථි කොටස් වරදකරුවන් ආරක්ෂා කිරීමේ අදහසින් ආනන්ද සමරසේකර මහතා අස්ථානගත කර ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.